ජනාධිපතිවරනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින්ගේ ධනේශ්වර-ගැති වැඩපිලිවල

[මෙය Sri Lankan election: The pro-capitalist program of the Frontline Socialist Party charlatans යන මැයෙන් 2024 සැප්තැම්බර් 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සැප්තැම්බර් 21 දා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇත. එහි සියලු රැඩිකල් මවාපෙන්වීම් තිබියදී, පෙසප තුන්වන ලෝක යුද්ධයක් කරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තීව්‍ර කෙරෙමින් තිබෙන තල්ලුව ගැන සඳහනක් නොකරන අතර ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි ගැඹුරු වන ප්‍රහාර ධනේශ්වර පද්ධතියේ හා අපකීර්තිමත් මැතිවරන දේශපාලනයේ රාමුව තුල විසඳිය හැකි බවට විශ්වාස කරවීම සඳහා වැඩකරන ජනතාව රැවටීමට උත්සාහ කරයි.

සමාජවාදී ජනතා සංසදයේ නුවන් බෝපගේ [ඡායාරූප: ෆේස්බුක්/peoplesstrugglealliance] [Photo: Facebook/peoplesstrugglealliance]

පෙසප ට ප්‍රතිකූලව යුද්ධය, කප්පාදු හා ඒකාධිපති පාලන විධික්‍රමයන් ට එරෙහිව සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකට කම්කරු පන්තිය දිනා ගැනීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සටන් කරයි. අපගේ වැඩපිලිවෙලට තම සහයෝගය ප්‍රදර්ශනය කිරීම සඳහා සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු; නමුත් සියල්ලටත් වඩා, අප ඉල්ලා සිටින්නේ, වැඩ කරන ජනතාව මුහුන දී සිටින දැවැන්ත සමාජ අර්බුදයට තිත තැබීමටත්, ඒකාබද්ධ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමටත් සම්බන්ධ වෙමින් සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කිරීමට සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඒවායේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව බලමුලු ගැන්වෙන ලෙසයි.

ධනේශ්වර පාලනයට තර්ජනය කරන කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන ව්‍යාපාරයකට පෙසප දේශපාලනිකව සතුරු ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සහ ඉල්ලා අස්වීමට බල කල 2022 මහජන නැගිටීමේ අඛන්ඩ පැවැත්මක් ලෙස එය තමා හුවා දක්වයි. පෙසප, කොලඹ මහජන විරෝධතාවල ප්‍රමුඛ වූ ජන අරගල සන්ධානය (ජඅස) නමින් හැඳින්වෙන අනෙකුත් සුලු ධනේශ්වර සංවිධාන සමග සන්ධානයක් පිහිටුවා ගෙන ඇත. ජඅස ට නිල තත්වයක් නොමැති නිසා, පෙසප අපේක්ෂක නුවන් බෝපගේ එහි සහචර සන්ධානයන්ගෙන් එකක් වන සමාජවාදී ජනතා සංසදය (සජසං) නමින් පෙනී සිටී.

2022 මහජන ව්‍යාපාරයේ අභිලාෂයන් මූර්තිමත් කරන බවට පෙසප කරන ප්‍රකාශය වැඩකරන ජනතාවට අනතුරු ඇඟවීමකි. එය නියෝජනය කරන්නේ රටේ නය පැහැර හැරීමෙන් පසුව මුදාහරින ලද සමාජ විනාශයට එරෙහිව වීදි බට මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ දුගීන්ගේ අවශ්‍යතා නොව; ඒ වෙනුවට, නැගිටීම තුල ආධිපත්‍යය දැරූ සහ එය පාවා දුන් දේශපාලන බලවේගයන් ය.

2022 මහජන කැලඹීම් මධ්‍යයේ, පෙසප, එහි සහචරයින් සහ ද්‍රෝහී වෘත්තීය සමිති සමග එක්ව මහජන ව්‍යාපාරය සීමා කිරීමටත්, විශේෂයෙන්ම, කම්කරු පන්තියේ වැඩ වර්ජන සීමා කිරීමටත්, 'අන්තර්වාර ආන්ඩුවක්'—එය විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ධනපති ආන්ඩුවකි—සඳහා වන කැඳවීමට යටත් කිරීමටත් ප්‍රධාන වශයෙන් ක්‍රියා කලහ. කම්කරු පන්තියේ සෑම ස්වාධීන ව්‍යාපාරයක් ම අවහිර කිරීම මගින්, අපකීර්තිමත් රනිල් වික්‍රමසිංහ, බලවත් විධායක ජනාධිපති ධූරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව පිහිටුවීමට හැකි වූ පාර්ලිමේන්තු උපාමාරුවලට පෙසප පහසුකම් සලසා දුන්නේය.

වික්‍රමසිංහ තන්ත්‍රය ඇප නය වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ක්‍රියාවට දමා ඇති බැවින්, එහි ප්‍රතිඵලය වී ඇත්තේ, වැඩකරන ජනතාවගේ පුලුල් ස්ථරයන්ට සමාජ විනාශයකි. සහනාධාර කප්පාදු කිරීම නිසා මිල අහස උසට නැඟ ඇත. රාජ්‍ය ව්‍යවසායන් තොගපිටින් කඩිමුඩියේ විකිනීමකට සූදානම් වෙමින්, රැකියා සහ සේවා කොන්දේසි විනාශ කර ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සුබසාධන වැනි අත්‍යාවශ්‍ය සේවාවන්ට ක්‍රමානුකූලව වල කපා තිබේ. වික්‍රමසිංහ සිය කප්පාදු වැඩපිලිවෙලට එරෙහි කවර හෝ විරුද්ධත්වයකට එරෙහිව කුරිරු පොලිස්-රාජ්‍ය පියවරයන් වෙත යොමු වී සිටී.

සජබ සහ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය (ජාජබ) “අන්තර්වාර ආන්ඩුවක” කොටසක් වූයේ නම්, හරියටම එයම කරනු ඇත. මෙම පක්ෂ දෙකම ජනාධිපතිවරනය ට අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති අතර ඇත්ත වශයෙන්ම ඔවුන් ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයින් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය දිගටම ක්‍රියාත්මක කිරීමට දෙදෙනාම ප්‍රතිඥා දී ඇත; ඔවුන් ද, වැඩ වර්ජන සහ විරෝධතා මැඩලීමේ දී වික්‍රමසිංහ මෙන් ම නිර්දය වනු ඇත.

ජාමූඅ කුරිරු න්‍යාය පත්‍රයට මහජන සතුරුකම ගැන හොඳින් දන්නා පෙසප එහි විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරයි. එහි මහජන ප්‍රකාශනය “ජාමූඅ ඉවත්වීමේ උපාය මාර්ගයක්” ප්‍රවර්ධනය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරනවා වෙනුවට, නය ආපසු ගෙවීමේ සහන ලබා ගැනීම සඳහා “නය හිමියන් සමඟ සෘජු සාකච්ඡා” සහ “ජාත්‍යන්තරව පිලිගත් නය විගනන සහ ශ්‍රේනිගත කිරීමේ ආයතනයක් මගින් ශ්‍රී ලංකාවේ තත්වය අධ්‍යයනය කිරීම හරහා නීතිමය විගනන වාර්තාවක්” ඉල්ලා සිටී.

මෙය සැබවින්ම කබලෙන් ලිපට වැටීමක් වනු ඇත. තම ඉල්ලීම් අකුරටම ක්‍රියාත්මක කල යුතු යැයි අවධාරනය කර ඇති ජාමූඅ සමග සාකච්ඡා කිරීමට ප්‍රතිකූලව ජාමූඅ නියෝජනය කරන නයහිමියන් ලඟට හිඟන පාත්තරයක් රැගෙන යාමට පෙසප යෝජනා කරයි. එපමනක් නොව, කුමක් කල යුතුද යන්න පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය වෙනුවෙන් ක්‍රියා කරන ප්‍රයිස්වෝටර්හවුස්කූපර් (PricewaterhouseCooper) හෝ කේපීඑම්ජී වැනි කුප්‍රකට ප්‍රකෝටිපති විගනන ආයතනවලින් එකකට ගෙවීමට එයට අවශ්‍ය වේ.

ජාත්‍යන්තර බැංකුකරුවන්ට නිෂ්ඵල ආයාචනා කිරීම සඳහා වන පෙසප යෝජනාව, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ අධිකාරය පිලිගැනීමේ ප්‍රතිපත්තියකි. මෙම විකාරසහගත ව්‍යායාමයේ ප්‍රතිඵලය අපට කල්තියා පුරෝකථනය කල හැකිය. කුමන සහන ලබා දුන්නත්, එය, දෙමල සුලුතරයට එරෙහි 30 වසරක කුරිරු වාර්ගික යුද්ධයේදී අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් ගොඩගැසූ නය කන්දරාව ගෙවීමට වැඩ කරන ජනතාව පොලඹවන්නේය යන සත්‍යය වසං කිරීමටත්, එක් හෝ තවත් ආකාරයකින්, මහා ව්‍යාපාරිකයන්ගේ සහ විදේශීය ආයෝජකයන්ගේ ලාභය වැඩි දියුනු කිරීමටත් උත්සාහ කරනු ඇත.

සිරිසා පක්ෂ නායක ඇලෙක්සි සිප්රාස්, 2015 සැප්තැම්බර් 20 ඉරිදා ඇතන්ස්හි සිරිසා පක්ෂයේ ප්‍රධාන මැතිවරන මධ්‍යස්ථානයේ දී ඔහුගේ ආධාරකරුවන් අමතයි. (ඒපී ඡායාරූප/ලෙෆ්ටෙරිස් පිටාරාකිස්) [AP Photo/Lefteris Pitarakis]

ග්‍රීසියේ ව්‍යාජ-වාම සිරිසා ආන්ඩුව විසින් ඉටු කරන ලද ද්‍රෝහී භූමිකාවෙන් කම්කරුවන් අවශ්‍ය පාඩම් උකහා ගත යුතුය. පෙසප මෙන්ම, “රැඩිකල් වාම සභාගය” නොහොත් සිරිසා ද 2015 මැතිවරනයට පෙර, යුරෝපා සංගමයේ කප්පාදු ඉල්ලීම් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බව යලි යලිත් ප්‍රකාශ කලේය. පෙසප මෙන්ම සිරිසා ද කියා සිටියේ ග්‍රීසියේ ආර්ථික හා සමාජ අර්බුදය ධනවාදයේ රාමුව තුල විසඳිය හැකි බවයි. කෙසේ වෙතත්, බලය ලද විගස, සිරිසා වහාම සිය මැතිවරන පොරොන්දු ඉවත දැමූ අතර, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් වලට හිස නමා, ඊලඟ වසර හතර තුල ග්‍රීක කම්කරු පන්තියේ අත්‍යාවශ්‍ය සේවා, විශ්‍රාම වැටුප්, රැකියා, සේවා කොන්දේසි සහ වැටුප් විනාශභාග කලේය.

කම්කරු පන්තියට තම අවශ්‍යතා ආරක්ෂා කර ගත හැක්කේ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ පරමාධිකාරයන් ට අභියෝග කරන සහ ලාභ පද්ධතිය පෙරලා දැමීමට උත්සාහ කරන වැඩපිලිවෙලක පදනම මත පමනක් බව සසප අවධාරනය කරයි. අප ඉල්ලා සිටින්නේ නය කන්ද ගැන නැවත සාකච්ඡා කිරීමට නොව, එය සම්පූර්නයෙන් ප්‍රතික්ෂේප කිරීමට යි. එම ප්‍රතිපත්තිය සඳහා සටන් කිරීමට, කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සහ සමාජවාදී ප්‍රතිපත්තිවල පදනම මත ජාමූඅ විධානයන් ට එරෙහිවීමේ මූලෝපායක් සාකච්ඡා කර ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් (ප්‍රසස) කැඳවන ලෙස අපි ඉල්ලා සිටිමු.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට සහ ගෝලීය ඒකාබද්ධ සංගත වලට එරෙහිව සටන් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ කම්කරුවන්, තම ජීවන තත්වයන් මත එල්ල වන ප්‍රහාර හා සමාන ප්‍රහාරවලට මුහුන දෙන ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග එක්සත් විය යුතුය.

2022 සහ දැන් පෙසප ප්‍රතිපත්ති හුදෙක් දේශපාලන අත්වැරදීම් නොව, එහි පන්ති දිශානතියෙන් හා ක්‍රියාමාර්ගයෙන් සෘජුවම ගලා එන්නකි. එය ආමන්ත්‍රනය කරන්නේ කම්කරු පන්තියට නොව ඉහල මධ්‍යම පන්තියේ කොටස් වලට ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එහි ප්‍රතිපත්ති ප්‍රකාශය නොනවත්වාම යොමු වන්නේ “ජනතාවට,” කම්කරුවන්ට හෝ කම්කරු පන්තියට නොවේ. එහි “මහජන පෙරමුනක්” සඳහා වන කැඳවීම උත්සාහ කරන්නේ, කම්කරු පන්තිය, මධ්‍යම පන්තික හා ධනේශ්වර පක්ෂ හා සංවිධානවල පෙරමුනකට යටත් කිරීමට ය.

2011 දී ජවිපෙන් කැඩී ගිය පෙසප, න්‍යායාත්මකව, එම පක්ෂයේ මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ජනතාවාදය යන දෘෂ්ටිවාදී සංයෝගය තුල —විශේෂයෙන්ම ස්ටැලින්වාදී/මාඕවාදී අවදි දෙකේ න්‍යාය තුල—මුල් බැස ඇත. එහි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොටස් දෙක—එහි ක්ෂනික කර්තව්‍යයෝ සහ කෙටි කාලීන වැඩපිලිවෙලත්, “අපගේ සමාජවාදී මූලධර්මාත්මක පදනමත්” ලෙස—පැහැදිලිවම මෙය දක්වා ඇත.

පලමු අදියර, කම්කරු පන්තිය 'ප්‍රගතිශීලී' ධනේශ්වරය සමග සන්ධානයකට යටත් කර, ක්ෂනික ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් භාර ගැනීමට සහ කම්කරු පන්තියේ ඉරනම සැහැල්ලු කිරීමට යැයි කියනු ලබන අතර, සමාජවාදය දුරස්ථ දෙවන අදියරකට පවරා දෙනු ලබයි. යථාර්ථයේ දී, 20 වැනි සියවසේ ඉතිහාසය යලි යලිත් පෙන්නුම් කර ඇති පරිදි, කම්කරු පන්තියේ ඕනෑම විප්ලවවාදී ව්‍යාපාරයක් පිලිබඳව භීතියට පත් ව සිටින 'ප්‍රගතිශීලී' ධනේශ්වරය, ඛේදජනක ප්‍රතිවිපාක සමග නොවරදවාම කම්කරුවන් හා දුගීන් මතට කඩා පනී.

අවදි දෙකේ න්‍යායට අනුකූලව, පෙසප ප්‍රතිපත්ති ප්‍රකාශය, එහි කෙටි කාලීන වැඩපිලිවෙලේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යුහය “ප්‍රජාතන්ත්‍රීකරනය” කිරීම ඉල්ලා සිටින අතර, මෙය “සමාජවාදී රාජ්‍ය ව්‍යුහයක් ම නොවන” බව පැහැදිලිව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, ධනේශ්වර රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රීකරනය ප්‍රතිගාමී මනෝ රාජ්‍යයකි.

1948 නිල නිදහස ලැබූ දා පටන් ශ්‍රී ලංකා ධනේශ්වරය සිය පාලනය පවත්වා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රම සහ පොලිස්-රාජ්‍ය මර්දනය වෙත යොමු වී ඇත. පලමු ආන්ඩුව දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් අහෝසි කල අතර, දෙමල විරෝධී ස්වෝත්තමවාදය සහ සංහාර 1983 දී දිග්ගැස්සුනු සිවිල් යුද්ධය පුපුරා යාමට තුඩු දුන්නේය. පෙසප ආයාචනා කරන විරුද්ධ පක්ෂ—සජබ සහ ජවිපෙ—සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග බෙදුම්වාදී වර්ගවාදී දේශපාලනයේ ගිලී ඇත. දැන් දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක කොන්දේසි යටතේ, පාලක පන්තිය වර්ගවාදය ඇවිලවීමට සහ ආඥාදායක පාලන ක්‍රම කරා යාමට පසුබට නොවනු ඇත.

පෙසප ප්‍රතිපත්ති ප්‍රකාශය දියත් කරද්දී, අර්ථාන්විතව ම එහි අපේක්ෂක බෝපගේ, වික්‍රමසිංහ ආන්ඩුව 'ඉන්දියාවට සම්පූර්නයෙන් යටත් වීම' සහ 'ස්වාධීනත්වය අහිමි වීම' පිලිබඳව විවේචනය කලේය. එය දෙමල බෙදුම්වාදී එල්ටීටීඊ ය නිරායුධ කිරීම සඳහා දිවයිනේ උතුරට ඉන්දියානු “සාම සාධක භටයන්” ගෙන ආ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව 1988-89 දී ෆැසිස්ට්වාදී කැරැල්ලක නිරත වූ එහි මව් පක්ෂය වූ ජවිපෙ හි ඉන්දියානු විරෝධී සහ දෙමල විරෝධී ස්වෝත්තමවාදය සිහිපත් කරයි. ජවිපෙ තුවක්කුකරුවන් එහි ස්වෝත්තමවාදී ව්‍යාපාරයට විරුද්ධ වූ සසප සාමාජිකයන් ඇතුලු කම්කරුවන්, වෘත්තීය සමිති නායකයින් සහ දේශපාලඥයින් වෙඩි තබා මරා දැමීය. පෙසප කිසිවිටෙක මෙම තුච්ඡ වර්ගවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කර නැත.

අවදි දෙකේ න්‍යායට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුල පැහැදිලි කලේ, ශ්‍රී ලංකාව වැනි ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ජාතික ධනේශ්වරය, කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ඉටු කිරීමට ඓන්ද්‍රීයව ම අසමත් බවයි. එම කර්තව්‍යයන් පැවරෙන්නේ, සමාජවාදී විප්ලවය තුල ධනවාදය පෙරලා දැමීමේ බලය සඳහා අරගලයේ දී ගම්බද දුගීන් පෙලගස්වා ගන්නා කම්කරු පන්තියට ය.

පසුගාමී රටවල් පමනක් නොව, ඊනියා දියුනු අධිරාජ්‍යවාදී බලවත්හු ද අන්ත දක්ෂිනාංශික, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රම වෙත හැරෙමින් සිටිති—සියල්ලටත් වඩා, එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයේ තරඟකරුවන් වන්නේ, ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුදවාදී කමලා හැරිස් ය; අද, ගෝලීය ධනවාදයේ අර්බුදය එබඳු ය. ලොව පුරා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය මුලුමනින්ම බැඳී ඇත්තේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ අරගලය සමග යි.

ආන්ඩුවට සහ පාර්ලිමේන්තුවට පීඩනය යෙදීම සඳහා 'මහජන සභා' ගොඩනැගීම හරහා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රීකරනය කරන ලෙස පෙසප ඉල්ලා සිටියි. මෙය පන්ති සහයෝගීතාවයේ වැඩපිලිවෙලක් මිස අන් කිසිවක් නොවේ. එවැනි 'මහජන සභා' තුල ආධිපත්‍යය දරන අය ධනේශ්වර හා ඉහල මධ්‍යම පන්තික කොටස්වල නියෝජිතයන් වනු ඇත.

ස්වකීය ස්වාධීන ශක්තිය තහවුරු කර ගැනීම සඳහා අරගලය තමන්ගේ අතට ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති ආවතේවකාරයින්ගෙන් ස්වාධීනව, සෑම වැඩබිමකම, කම්හලකම සහ වතුකරයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අපි යෝජනා කරමු. පාර්ලිමේන්තුවට ප්‍රතිකූලව, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා දේශපාලන හා කාර්මික මූලෝපායක් නිර්නය කිරීමට සහ ක්‍රියාවට නැංවීමට, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු නියෝජිතයින්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ස්ථාපනය කරන ලෙස සසප කැඳවුම් කරයි.

මෙම ක්‍රියාකාරී කමිටු තුල වැඩකරන ජනතාවගේ දැවෙන අවශ්‍යතා සපුරාලීම සඳහා ඉල්ලීම් මාලාවක් සසප ඉදිරිපත් කරයි: ජාමූඅ විසින් නියම කරන කප්පාදු ප්‍රතික්ෂේප කරනු, සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු, රාජ්‍ය අංශයේ ව්‍යවසායන් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහගතකරනය එපා, සියලුම කම්කරුවන් සඳහා ජීවන වියදමට අනුව ඉහල යන නිසි ජීවන වැටුප්, මහා සංගත, වතු, ප්‍රධාන බැංකු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු.

මෙම ඉල්ලීම් කිසිවක් ධනවාදයේ රාමුව තුල හෝ ජාතික පදනමක් මත ඉටු කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ස්ථාපනය කිරීම ධනවාදය පෙරලා දැමීමේ සහ සමාජවාදී පිලිවෙත් මත සමාජය ප්‍රතිනිර්මානය කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය මතු කරයි. මෙය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයක කොටසක් විය යුතුය.

Loading