ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෝ ජාමූඅ කප්පාදු බලාත්මක කිරීමට කුමන්ත්‍රනය කරන අතරේ ව්‍යාජ පොරොන්දු දෙති

[මෙය Sri Lanka’s presidential candidates make phony promises, while plotting to enforce IMF austerity යන මැයෙන් 2024 සැප්තැම්බර් 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයට සතියක් තිබියදී, ප්‍රධාන ධනපති අපේක්ෂකයෝ ආන්ඩුවේ කුරිරු කප්පාදු වැඩපිලිවෙලෙන් මහජනතාවට සහන සලසන බවට බොරු පොරොන්දු දීම දිගටම කරගෙන යති.

කප්පාදුවට එරෙහි ඕනෑම අරගලයක් ගබ්සා කර යටපත් කර ඇති ප්‍රධාන විරුද්ධ පක්ෂ අපේක්ෂකයන් වන සමගි ජන බලවේගයේ (සජබ) සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ/ජනතා විමුක්ති පෙරමුනේ (ජාජබ/ජවිපෙ) අනුර කුමාර දිසානායක පමනක් නොව, එම කප්පාදු සෘජුවම පනවා ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද මෙම බොරු පොරොන්දුදීමේ ක්‍රියාවලියේ යෙදී සිටී.

ඒ අතරම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග ශ්‍රී ලංකාවේ ඇප නය ගිවිසුම ප්‍රකාශ කර ඇති ගැඹුරු සමාජ කප්පාදුවේ සහ පුද්ගලීකරනයේ අඛන්ඩ වැඩපිලිවෙල වෙනුවෙන් තමන් පෙනී සිටින බවට—සහ එය ක්‍රියාත්මක කරන බවට—ඔවුහු මහා ව්‍යාපාරිකයන්ට සහතික කරති.

මැතිවරනය පැවැත්වෙන්නේ, පෙර නොවූ විරූ සමාජ අසමානතාවය, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන පලස්තීන ජන සංහාරය සහ එයට පැටලී සිටින පාලක ප්‍රභූවේ ෆැසිස්ට්වාදී හා ඒකාධිපති පාලන රූප වෙත හැරීම තුලින් විදහා දැක්වෙන, ලෝක ධනවාදයේ ගෝලීය අර්බුදයක් මධ්‍යයේ ය. ගෝලීය අර්බුදය ලංකාව තුල විශේෂයෙන්, තීව්රව ප්‍රකාශයට පත් කෙරෙයි.

ජනාධිපතිවරනයට තරඟ කරන ධනපති පක්ෂ මෙම භයානක වර්ධනයන් ගැන මුලුමනින්ම නිහඬතාවක් පවත්වාගෙන යති. ගෝලීය යුද්ධයේ අන්තරාය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි තීව්‍රවන ප්‍රහාර සහ ආඥාදායකත්වය කරා ගමන් කිරීම පිලිබඳව අනතුරු අඟවන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන ම පමනි.

මැතිවරනය පැවැත්වෙන්නේ, 2022 අප්‍රේල්-ජූලි මාසවල දී, අහස උසට නැඟෙන මිල ගනන්, එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ දීර්ඝ විදුලි කප්පාදු හරහා ආර්ථික අර්බුදයේ බර තමන් මත පැටවූ ආන්ඩුවට එරෙහිව සටන් කිරීමට අධිෂ්ඨාන කර ගත්, මිලියන ගනනක් කම්කරුවන්, දුගීන් සහ තරුනයන්ගේ මහජන නැගිටීමෙන් යන්තම් දෙවසරකට පසුව ය. සිංහල, දෙමල සහ මුස්ලිම් ජනතාව එක්සත් කල මෙම බලගතු ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ ධනේශ්වරය විසින් ප්‍රවර්ධනය කරන ලද දශක ගනනාවක් දිග්ගැස්සුනු වර්ගවාදී දේශපාලනය කපාගෙන මතු විය.

රාජ්‍ය ප්‍රචන්ඩත්වයෙන්, නැගී එන විරුද්ධත්වයේ රැල්ල පරාජය කිරීමට නොහැකි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි මස මුලදී රටින් පලා ගිය අතර ඔහුගේ ආන්ඩුව බිඳ වැටුනි. කෙසේ වෙතත්, දේශපාලන තත්වය සහ ධනේශ්වර පාලනය ස්ථාවර කිරීම සඳහා “අන්තර්වාර ආන්ඩුවක්” සඳහා වූ යෝජනාව පිටුපසට එම ව්‍යාපාරය මෙහෙයවූ වෘත්තීය සමිති නිලධරය සහ එහි දේශපාලන සහචරයින් විසින් මහජන නැගිටීම පාවා දෙනු ලැබීය.

මෙය, තමන්ගේම සමාජවාදී විසඳුමක් සමග කම්කරු බලය සඳහා සටන් වදින ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය මෙම අර්බුදයට මැදිහත් වීම වැලැක්වූ අතර, රාජපක්ෂගේ සුනුවිසුනු වූ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් (ශ්‍රීලංපොපෙ) එක්සත් ජනපද අතවැසියෙකු වන රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධූරයට ඔසවා තැබීමට මග පෑදීය. මූල්‍ය ආයතනයේ ශ්‍රී ලංකා දූත මන්ඩල ප්‍රධානියා විසින් “කෲර අත්හදා බැලීමක්” ලෙස විස්තර කරනු ලැබූ, ඩොලර් බිලියන 3 ක ඇප නයක් සඳහා ඔහු ජාමූඅ සමග ගිවිස ගත්තේ ය.

පසුගිය වසර මුල සිට, ඉහල අගය එකතු කල බද්දක්, උපයන විට ගෙවීමේ බද්ද, විදුලිබල හා ජල ගාස්තු විශාල ලෙස ඉහල දැමීම සහ රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය ඇතුලත් ජාමූඅ සමාජ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් සිය දස දහස් ගනනින් යලි යලිත් බලමුලු ගැන්වී ඇත. මෙම පියවරයන්ගේ අරමුන වන්නේ, දිලිඳු ජනතාවගෙන් අමතර ආදායමක් සූරා ගනිමින්, 2022 අප්‍රේල් මාසයේදී පැහැර හරින ලද විදේශ නය ආපසු ගෙවීම සහතික කිරීමයි.

ජාමූඅ මත ආධිපත්‍යය දරන වොෂින්ටනය, ප්‍රධාන ගෝලීය නැව් මාර්ග අසල පිහිටා ඇති ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපය හරහා චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමේ ප්‍රධාන කේන්ද්‍රයක් බවට පරිවර්තනය කිරීමේ එහි දිගුකාලීන ප්‍රයත්නයන් තීව්‍ර කිරීමට, ආර්ථික හා දේශපාලන අර්බුදය යොදා ගෙන ඇත.

කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගේ තවත් මහජන නැගිටීමක් පිලිබඳ භීතියෙන් සිටින විශාල වශයෙන් අපකීර්තිමත් ධනේශ්වර පක්ෂ කැබලි වලට කැඩී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනෙකුගේ දිගු ලැයිස්තුවක් ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ප්‍රතිවාදීන්ගේ ඡන්ද බෙදීමට හෝ ඔවුන් සහාය දක්වන අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට ප්‍රධාන තරඟකරුවන් විසින් මුදල් දී ඉදිරිපත් කර ඇති අය වෙති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහි කෙන්යාව තුල විරෝධතා සහ වැඩ වර්ජන ගැනත්, දිගුකාලීන ඒකාධිපති අගමැතිනි ෂීක් හසීනාට රටින් පලා යාමට බල කෙරුන බංග්ලාදේශයේ මෑත කාලීන මහජන නැගිටීම ගැනත් වික්‍රමසිංහ තැතිගැන්මෙන් යුතුව සඳහන් කර ඇත. මහජන අපේක්ෂාවන් ඉහල නංවා සමාජ ආතතිය අවුස්සනු ඇති ජාමූඅ කප්පාදු පිලිබඳ ඔවුන්ගේ නොසැලකිලිමත්, කුටිල විවේචනයන් පාලනය කර ගන්නා ලෙස “ජාතික සමගියේ” නාමයෙන් වික්‍රමසිංහ තම ප්‍රතිවාදීන්ගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකාවේ කොලඹ පැවති මහජන රැලියකදී [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

වික්‍රමසිංහ මැතිවරනයට තරඟ කරන්නේ ශ්‍රී ලංකා ධනේශ්වරයේ “මාහැඟි පැරනි පක්ෂය” වන ඔහුගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නියෝජිතයෙකු ලෙසට නොව, “ස්වාධීන අපේක්ෂකයෙකු” ලෙසිනි.

නිදහසින් පසු වසර 76 න් වසර 37 ක් ම රට පාලනය කලේ එජාපයයි. එය තම පාලන කාලය ආරම්භ කලේ, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා, 1948 සහ 1949 දී දෙමල කම්කරුවන්ගේ පුරවැසිභාවය සහ ඡන්ද බලය අහෝසි කල ධනේශ්වර රාජ්‍යයේ ප්‍රධානියා ලෙස ය. 1978 දී, එජාපය, රැකියා දස දහස් ගනනක් විනාශ කරමින් සහ සමාජ අයිතීන් උදුරා දමමින් විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති ආරම්භ කලේ ය; 1983 දී එය දෙමල සුලුතරයත්, රටේ සෙසු ප්‍රදේශත් විනාශ කරමින් 26 වසරක දෙමල විරෝධී වාර්ගික යුද්ධය අවුලුවාලිය; 1987-1990 අතර මෙම පක්ෂය දිවයිනේ දකුනේ ගම්බද තරුනයින් දහස් ගනනක් සමූලඝාතනය කලේය.

2020 දී එජාපය දෙකඩ වූ අතර එහි ප්‍රධාන කන්ඩායමක් සජබ පිහිටුවාගෙන ජාතික මැතිවරන වල දී වෙනම තරඟ කරයි. 2020 අගෝස්තු ජාතික මැතිවරනයෙන් තේරී පත් වූ එකම එජාප මන්ත්‍රීවරයා වික්‍රමසිංහ විය. මහජන විරෝධතා අතරතුර රාජපක්ෂ ඔහුව 2022 අප්‍රේල් මාසයේදී අගමැති ලෙසත් ජූලි මාසයේදී වැඩබලන ජනාධිපති ලෙසත් පත් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) මන්ත්‍රීවරුන් විසින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගත් අතර, එහි නායකයින් වත්මන් මැතිවරනයේදී ඔහුට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහු තම කැබිනට් මන්ඩලයේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ඇමතිවරුන්ට ඉඩ නොදීම නිසාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ ය. කෙසේ වෙතත්, තවත් මන්ත්‍රීවරුන් 90 දෙනෙකු පක්ෂයෙන් ඉවත් වී ඇති අතර, වික්‍රමසිංහට සහය දැක්වීම සඳහා සන්ධානයක් පිහිටුවාගෙන තිබේ.

මැතිවරන දිනය ලං වන විට, ඔහුගේ කප්පාදු පියවරයන් නිසා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ දැඩි වෛරයට ලක්ව සිටින වික්‍රමසිංහ, 2025 සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බවට, ගොවීන්ගේ නය කපා හරින බවට සහ බදු කපා හරින බවට පොරොන්දු වෙමින් ඡන්දදායකයින් ආකර්ෂනය කර ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

ඒ අතරම, ජාමූඅ වැඩපිලිවෙල සම්බන්ධයෙන් “යලි සාකච්ඡා ” කල හැකි යැයි යෝජනා කරන ඔහුගේ ප්‍රතිවාදීන්ට ඔහු පහර දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙලෙහි කිසියම් සැලකිය යුතු වෙනසක් ශ්‍රී ලංකා ආර්ථිකයේ බිඳවැටීම වේගවත් කරමින්, තවදුරටත් නය ගෙවීම් අත්හිටුවීමට මූල්‍ය ආයතනය මෙහෙයවනු ඇති බවට ඔහු සෘජුව අනතුරු අඟවා ඇත.

එජාපයේ අපශාඛාවක් වන සජබ නායක ප්‍රේමදාස, රැකියා වැඩි කිරීම, රාජ්‍ය සේවකයින්ට වැඩි වැටුප් සහ ගොවීන්ට පොහොර මිල කප්පාදු කිරීම පිලිබඳ බොරු පොරොන්දු දෙමින් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් දැඩි ලෙස විවේචනය කරයි. එහෙත් මහා ව්‍යාපාරික විරුද්ධත්වයට හා ජාමූඅ ඉල්ලීම්වලට බියෙන් ප්‍රේමදාස බදාදා මැතිවරන රැලියකදී පැවසුවේ, “ශ්‍රී ලංකාවට තවදුරටත් සුබසාධන රාජ්‍යයක් ලෙස පැවතිය නොහැකි” බවයි. ඔහුගේ ඊනියා දිලිඳුකම පිටුදැකීමේ වැඩසටහන පිලිබඳ විවේචනයකට පිලිතුරු දෙමින් ප්‍රේමදාස කියා සිටියේ එය දුප්පතුන් ව්‍යවසායකයින් බවට පරිවර්තනය කරන බවයි.

ජාජබ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, දේශපාලන හා පාර්ලිමේන්තු ප්‍රධාන ප්‍රවාහයට ඒකාග්‍ර වීමට පසුගිය වසර 30 ගත කල සුලු ධනේශ්වර සිංහල ස්වෝත්තමවාදී පක්ෂයක් වන ජවිපෙට නායකත්වය දෙයි. ඔහු “සංස්ථාපිත -විරෝධී” අපේක්ෂකයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, දශක ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා දේශපාලනයේ ආධිපත්‍යය දැරූ දූෂිත ධනේශ්වර පවුල් කෙරෙහි පවතින ගැඹුරු මහජන සතුරුකමට ආයාචනා කරමින් සහයෝගය දිනා ගැනීමට උත්සාහ කරයි.

අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 11 දින රැලියක් අමතමින් [ඡායාරූප: ෆේස්බුක්/nppsrilanka/photos] [Photo: Facebook/nppsrilanka/photos]

මෙම මවාපෑම් කෙසේ වෙතත්, ජාජබ/ජවිපෙ ධනපති ගැති පක්ෂයකි. සිය දේශපාලන විශ්වාසනීයත්වය ප්‍රදර්ශනය කිරීමට උනන්දු වන දිසානායක, එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් සහ ඉන්දීය ආන්ඩුවේ ඉහල නිලධාරීන් සමග නැවත නැවතත් සාකච්ඡා පවත්වා ඇත.

දිසානායක 2023 අගෝස්තු මාසයේදී සිය ජනාධිපතිවරන ව්‍යාපාරය ආරම්භ කලේ කම්කරුවන්, ගොවීන්, ධීවරයන්, රැකියා විරහිතයන් සහ ශිෂ්‍යයන් සියල්ලන්ටම යහපත් අනාගතයක් පිලිබඳ පුහු පොරොන්දු සමඟිනි. ඔහුගේ මැතිවරන ප්‍රකාශනයේ මායාවී තේමාව වන්නේ: පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!

දිසානායක මහජන රැලිවලදී ජාමූඅ කප්පාදු ගැන ඉඳහිට කනස්සල්ල පල කරන නමුත් මෙය ව්‍යාජ ය. පක්ෂයේ ව්‍යාපාරික සංසදයේ මෑත රැස්වීමක් අමතමින් ඔහු නිශ්චිතවම ප්‍රකාශ කලේ ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් තම ආන්ඩුව ජාමූඅ වැඩපිලිවෙලෙන් කිසිදු ආකාරයකින් බැහැර නොවන බවයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප්වල “විශාල” වැඩිකිරීම් පොරොන්දු වීම සම්බන්ධයෙන් එජාපය සහ සජබ දකුනින් හෙලා දුටු දිසානායක, ආර්ථික අර්බුදයේ බරපතලකම මෙම පක්ෂවලට නොතේරෙන බව ප්‍රකාශ කලේය. “[වැටුප් වැඩි කිරීමේ] ඕනෑම කුඩා පියවරක් මාරාන්තිකයි,” ඔහු පැවසීය.

පෙර ජනාධිපතිවරනවලදී, රටේ උතුරු හා නැගෙනහිර පදනම් වූ දෙමල ජාතිකවාදී පක්ෂ සාමාන්‍යයෙන් සහාය දුන්නේ, දෙමල ප්‍රභූව සඳහා හොඳම සහාය සපයනු ඇතැයි ඔවුන් සලකන පක්ෂයකට යි. ඔවුන්ගේ උද්ඝෝෂනය, මෙම ප්‍රදේශවල බලය බෙදා හැරීම සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වටා කෙරෙන නමුදු , දෙමල මහජනතාවගේ දුක්ඛිත සමාජ තත්වය සමනය කිරීමත්, දෙමල පක්ෂවල උපාමාරුත් අතර එහි කිසිදු සම්බන්ධයක් නැත.

මෙවර ජනාධිපතිවරනයේදී දෙමල ජාතික සංසදය, ප්ලොට්, ඊපීආර්එල්එෆ් සහ ටෙලෝ ඒකාබද්ධ පෙරමුනක් පිහිටුවාගෙන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේදිරන් “පොදු ජනාධිපති අපේක්ෂකයා” ලෙස ඉදිරිපත් කර ඇත.

ප්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන ඉලංකෙයි අරසු කච්චි දෙකඩ වී ඇත; එක් කන්ඩායමක් සජබ නායකයාට සහාය දක්වන අතර අනෙක් කන්ඩායම වික්‍රමසිංහට සහාය දක්වයි. දෙමල ජාතික ජනතා පෙරමුන මැතිවරනය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියි.

ඔවුන්ගේ ද්‍රෝහී ඉතිහාසයට අනුකූලව, දෙමල පක්ෂ අතර ඇති වෙනස්කම් තනිකරම උපායාත්මක වන අතර කොලඹ ආන්ඩුව සමඟ ගනුදෙනුවක් තහවුරු කර ගන්නේ කෙසේද යන්න මත කේන්ද්‍රගත වේ. එපමනක් නොව, දෙමල ප්‍රභූව කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ එහි හවුල්කරුවා වන ඉන්දියාවේ භූ දේශපාලනික අරමුනු හා අවශ්‍යතා වලට මුලුමනින්ම සහයෝගය දක්වයි.

මෙම පුපුරන සුලු දේශපාලන තත්වය තුල, සසප සහ එහි ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට, තරුනයින්ට සහ ග්‍රාමීය ජනතාවට එකම ඉදිරි මාවත සම්පාදනය කරයි. සියලුම ධනේශ්වර පාර්ලිමේන්තු පක්ෂවලට සහ ව්‍යාජ-වාම ජන අරගල සන්ධානයට හෝ මහජන අරගල සන්ධානයට (මඅස) එරෙහිව සසප අවධාරනය කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ධනවාදය තුල ජාතික හෝ අන් කුමන ආකායක හෝ විසඳුමක් නොමැති බව ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මාඕවාදීන් සහ අනෙකුත් මධ්‍යම පන්තික කොටස් ඇතුලත් සන්ධානයක් වන මඅස හි අරමුන වන්නේ, කම්කරු පන්තියේ ඕනෑම මහජන ව්‍යාපාරයක් ධනේශ්වර පාර්ලිමේන්තු රාමුවට බැඳ තබා ගැනීමයි. සමාජවාදය ගැන වියුක්ත ප්‍රකාශ කරන නමුදු මඅස සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙස වත් ඉල්ලා නැත.

ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන් වදින එකම පක්ෂය සසප යි. මේ සඳහා සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව සෑම වැඩපලකම, අසල්වැසි ප්‍රදේශයකම සහ ග්‍රාමීය ජනතාව අතර කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

ධනේශ්වර පන්තියේ ප්‍රහාරයට ලක්ව ඇති සියලුම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා විප්ලවවාදී වැඩපිලිවෙලක් සාකච්ඡා කර වර්ධනය කිරීමට ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවන ලෙස සසප ඉල්ලා සිටී. සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම සමාජවාදී පිලිවෙත්වලට ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම අවශ්‍ය වේ.

මෙම ඉදිරිදර්ශනය සඳහා වන සටන ඉදිරියට ගෙන යාමට පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන ලෙසත් සසප ට බැඳෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading