ගොවි ජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනාගත හැක්කේ කෙසේ ද?

ගොවි ජාතික සමුලුවට පිලිතුරක්

ගොවි ජාතික සමුලුව (ජාගොස) විසින් ගොවි ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් වැඩපිලිවෙලක් ජනාධිපති මැතිවරන ව්‍යාපාරය තුල දී ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් 2024 ජනාධිපති මැතිවරනය සඳහා තරඟ කරන අපේක්ෂකයන් වෙත ලිපියක් යොමුකර තිබේ. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපති අපේක්ෂක වන මා වෙත ද එම ලිපිය ලැබී ඇත. 

ඇඹිලිපිටියේ කෙසෙල් ගොවීන්

ධනපති පක්ෂ මෙන් ගොවියන් මුලා කිරීමේ හුදු මැතිවරන  පොරොන්දු කන්දරාවක් දීම වෙනුවට ගම්බද දුගී ගොවීන්ගේ කල්ගත වූ සහ දැවෙන සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සැබවින් ම දිනා ගත හැක්කේ කෙසේ ද යන්නත්, ඒ සඳහා සසප ඉදිරිපත් කරන ක්‍රියාමාර්ගයත් පැහැදිලි කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

බීජ, පොහොර හා කෘෂි රසායනික සඳහා නිසි ප්‍රමිතියක් හා උපරිම සිල්ලර මිලක් සහතික කිරීම, සහන ක්‍රමයට නය ලබාදීම, ඒ සඳහා සක්‍රිය ගොවි බැංකුවක් පිහිටුවීම හා කෘෂිකාර්මික නය රක්ෂනයක්, කෘෂි උපකරන සහනදායි  ක්‍රමයකට ලබාදීම, කෘෂි බහුජාතික සමාගම් වල ග්‍රහනයෙන් ගොවීන් නිදහස් කර ගැනීම, ඉඩම් සහ ජලය වෙලඳ භාන්ඩයක් බවට පත් කිරීම නතර කිරීම, වගා කිරීමට කැමති ගොවීන්ට  සියලු පහසුකම් සහිත ඉඩම් ලබාදීම, අතර මැදි  ගසා කන්නගෙන් ගොවියා මුදා ගැනීම සහ වන සතුන්ගෙන් වන හානියට ස්ථිර විසඳුමක් ලබාදීම ඇතුලු ඉල්ලීම් ගනනාවක් ජාගොස ඉදිරිපත් කර තිබේ. 

ජාගොස මෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීමත් සමග වික්‍රමසිංහ ආන්ඩුව, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ජාතික ජන බලවේගය (ජාජබ) ව්‍යාජ මැතිවරන පොරොන්දු දීමට යුහුසුලු වී ඇත. 

අම්බලන්තොට මයුරපුර වී ගොවියෙක් වන ඩිලාන් නියඟයෙන් විනාශ වූ ඔහුගේ කූඹුර මත

කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවින් ලබා ගෙන ඇති සියලුම වගා නය කපා හැරීමට රජය තීරනය කල බව ජනාධිපති මාධ්‍ය ඒකකය සැප්තැම්බර් 3 වෙනිදා නිකුත් කල ට්විටර් පනිවුඩයක සඳහන් විය. වගා නය කපන්නේ කවදා ද කෙසේ දැයි එහි කිසිදු සඳහනක් නැත.

තම රජයක් තුලින් රටේ ගොවි ජනතාවට රුපියල් 5000කට පොහොර මිටියක්, දරාගත හැකි මිලකට කෘෂි රසායන හා  ඉන්ධන සහනාධාරයක්, වී ගොවීන්ට ඉහල  සහතික මිලක් සහ වගා නය  ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දී  ගොවිජනතාව 'සුරකින රජ කරවන යුගයක් බිහි කරන' බව සැප්තැම්බර් 2 වෙනිදා මැදවච්චියේ පැවති රැස්වීමක දී සජබ නායක  සජිත් ප්‍රේමදාස  සඳහන් කලේ ය.

අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගහවැල්ල ගොවි ගම්මානයේ සේනාරත්න

කෘෂිකාර්මික නයවලින් 'යම් ප්‍රතිශතයක්' කපා හැරීමේ සැලැස්මක් තමන්  සතුව ඇති බවත් අඩු පොලී අනුපාත යටතේ නය ලබා දෙන සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බවත් ජාජබ නායක අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 7 දා යාපනයේ පැවති රැස්වීමක  දී පැවසීය. ගොවිනය කපන ප්‍රතිශතය හෝ කවදා එය ක්‍රියාවට දමන්නේ දැයි දිසානායක සඳහන් නොකරන අතර ජාජබ සතු ගොවි ජනයාට සහන සලසන 'සැලස්ම' ද එලිදරව් කර නැත.  

අහම්බයක් නොවේ.  ධනපති පක්ෂවල ජනාධිපති අපේක්ෂකයන්ගේ මෙම පොරොන්දු හුදෙක් ම ගම්බද දුගී ගොවීන්ගේ ඡන්දය ගසා කෑමේ පච පොරොන්දු ය. ගම්බද දුගී ගොවීන් මෙම ධනපති ජනාධිපති අපේක්ෂකයන්ගේ පච පොරොන්දු එකහෙලා ප්‍රතික්ක්ෂේප කල යුතුය.

දිනෙන් දින උග්‍රවන තම ප්‍රශ්න අරබයා ගොවීහු නිරන්තර අරලයක යෙදී සිටිති. රසායනික පොහොර හා කෘෂි රසායන ආනයනය අත්තනෝමතිකව තහනම් කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තීන්දුවට එරෙහිව 2021 ජූනි-ජුලි මාසවල දී ආන්ඩුවේ මර්දනය නොතකා දසදහස් ගනනක් ගොවීහු මාසයකට අධික කාලයක් දිවයින පුරා උද්ඝෝෂන වල නිරතව වූහ. එමෙන් ම, 2022 ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන අරගලය තුල ඔව්හු සක්‍රියව මැදිහත් වූහ.

ශ්‍රී ලංකාවේ දුගී ගොවී ජනයාගේ අරගලය, ධනපති පාලක පන්තියේ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුලින් පැන නැගෙමින් පවතින හා ගෝලීයව වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග මෙන්ම, අවශේෂ පසුගාමී රටවල දුගී ගොවීන්ගේ අරගල සමග සමපාත වෙයි. ජාතික සහ ජාත්‍යන්තර කෘෂි සංගතයන්ට ඔවුන් ගේ  ඉඩම්වල පාලනය අත්පත් කර ගැනීමටත්, නිෂ්පාදන හා මිල පාලනය කිරීමටත් ඉඩ සලසන නව කෘෂි නීති වලට විරුද්ධව ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ගොවීහු 2021 සහ 2023 අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුවේ රුදුරු මර්දනය නොතකා මාස ගනන් දීර්ඝ අඛන්ඩ අරගල වල යෙදුනාහ.

විකිණීමට සූදානම් වන විට කාන්තාවක් කුරුඳු අත්තෙන් පොත්ත ඉවත් කරයි. [ඡායාරූපය: WSWS]

පසුගිය දසක කිහිපය තුල අනුප්‍රාප්තික ධනපති ආන්ඩු යටතේ  ගොවි සහනාධාර කප්පාදුව, පොහොර, කෘෂි රසායන, බිජ හා කෘෂි උපකරන මිල ඉහල යාම, අතරමැදියන්ගේ ගසා කෑම සහ තම නිෂ්පාදනවලට සාධාරන මිලක් නොලැබීම සහ ඉඩම් හිඟය ආදී දිගුකාලීන ගැටලු වඩාත් උග්‍ර කෙරුන තතු තුල ශ්‍රී ලංකාවේ ගම්බද දුගී ගොවීහු අන්ත දරිද්‍රතාවයකට සහ නයගැතිකමකට ගොදුරු වී සිටිති. නියඟය, ජල හිඟය සහ ජලගැලීම්වලින් සිදුවන වගා හානි  නිසා ඔවුහු නිරන්තරව  පිඩාවට පත්වෙති. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් ට අනුව වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන රුදුරු කප්පාදු වැඩපිලිවෙල යටතේ ගොවිජනයා ගේ ප්‍රශ්න තවදුරටත් උග්‍ර වී ඇත.

එහෙත් ජාගොස ඇතුලු ඊනියා ස්වාධීන කියා ගන්නා ගොවි සංවිධාන ක්‍රියාත්මක වන්නේ ජවිපෙට, සජබට සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලු ධනපති පක්ෂ වලට සහ ඒ හෝ මේ ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම හා ආයාචනයන් මගින් ගොවීන්ගේ මෙම දැවෙන ප්‍රශ්න විසඳා ගත හැකිය යන මිත්‍යාවකට ගොවීන් යටත් කර තැබීමට යි. ගොවිජන ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා ලෙස ජාගොස විසින් ධනපති ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටීම ද එහි කොටසකි.

ශ්‍රී ලංකාවේ ගම්බද දුගී ගොවින් මුහුන දී සිටින සමාජ හා ප්‍රජාතන්ත්‍රීය ගැටලු ධනපති ක්‍රමය තුල නිර්මිත වූ ඒවා වන අතර දකුනු ආසියානු  කලාපයේ සහ ලෝකයේ සෙසු පසුගාමී ධනපති රටවල දුගී ගොවින් ට ද පොදු වූ ඒවාය. පසුගිය  සිය වස සහ මෙම සියවසේ ගත වූ දසක දෙක තුල ද යලි යලිත් ඔප්පු වී ඇත්තේ මෙම රටවල ධනපති පාලක පන්තීන් දුගී ගොවීන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය ප්‍රශ්න විසඳීමේ ලා මුලුමනින් ම අසමත් බවයි.

1948 ඊනියා නිදහසින් පසු ගෙවුන දසක හතකට අධික කාලයක් තුල ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික සියලු ම ආන්ඩු ගොවි ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීමෙහි ලා අසමත් වුවා පමනක් නොව, තම ප්‍රශ්න අරබයා කැරලිකාරී වන ගොවින් ලෙයින් මැඩීමට පසුබට නොවන බව ද ඔප්පුකර ඇත. වැඩෙන විරැකියාවේ සහ දරිද්‍රතාවයේ කොන්දේසි තුල ගම්බද තරුනයන් තුල වැඩුනු  කැරලිකාරිත්වය දේශපාලනික ව අවමංගත කරමින් 1971 දී සහ 1988-89 දී ජවිපෙ මෙහෙය වූ කැරලි නිමිති කරගනිමින් අගමැතිනි සිරිමා බන්ඩාරනායක ගේ සභාග ආන්ඩුව සහ ජනාධිපති ජේ.අර්. ජයවර්ධන ගේ හා ආර්. ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩු පිලිවෙලින් 15,000කට හා 60,000කට අධික තරුනයන් ම්ලේච්ච්ඡ ලෙස ඝාතනය කලහ.

ධනපති පක්ෂ ගොවිජනතාව තම පක්ෂවල “දේශපාලන වහලුන්” ලෙස සලකන අතර ඔවුන්ව “ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ” වහලුන් බවට ද පත් කරනු ලබන බව ලියොන් ට්‍රොට්ස්කි 1906 නොනවතින විප්ලව න්‍යාය විස්තාරනය කරමින් මෙසේ පැහැදිලි කලේ ය:

“ගම්බද, අවසාන වශයෙන්, ප්‍රාග්ධනයේ වහල්භාවයට පත් කෙරුනි. එසේම, ගොවි ජනතාව, ධනපති දේශපාලන පක්ෂ වල දේශපාලන වහලුන් බවට පත් කෙරුනේය. මේ පක්ෂ විසින්, පාර්ලිමේන්තුවාදී දේශපාලනය තුල, වැඩවසම් ක්‍රමය පුනර්ජීවනය කෙරුනි. මෙය සිදුවූයේ, ධනපතියන්ට ඡන්ද ගැරීමේ දඩයම් කෙලියෙහි කොටසක් බවට ගොවි ජනතාව පත් කර ගැනීම ලෙස ය. නූතන ධනපති රාජ්‍යය, සිය බදු ප්‍රතිපත්ති හා මිලිටරීකරනය මගින්, ගොවි ජනතාව, පොලීකාර ධනපති ප්‍රාග්ධනයේ දඬු අඩුවට හසු කරලන අතර, රාජ්‍ය පූජ්‍ය නඩ, රාජ්‍ය පාසැල් සහ බැරැක්ක ජීවිතයේ දූෂන මගින්, පොලීකාරයන්ගේ දේශපාලනයෙහි ගොදුරක් බවට පත් කෙරුනාහ.” (නොනවතින විප්ලවය:ප්‍රතිපල සහ සක්‍යතා 1906 -සිංහල පරිවර්තනය, කම්කරු මාවත ප්‍රකාශන, 60-61 පිටු.)

නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය මත පදනම් ව ගොවි ජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු  පන්තිය සහ ගම්බද දුගී ගොවින් බලමුලු ගැන්වීම ට සටන් වැදීමේ කීර්තිමත් ඉතිහාසයක් සසප පුර්වගාමි විප්ලවවාදී කොයුනිස්ට් සංගමය ට සහ සසප ට ඇත.

ධනපති දේශපාලන පක්ෂවලට හා ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් හෝ ආයාචනා කිරීමෙන් ගම්බද දුගී ගොවින්ට තම කිසිදු අයිතියක් දිනා ගත නොහැකිය. ඒ පිලිබඳව ගොවි සංවිධාන වල ධනපති ගැති වැඩපිලිවෙල ගොවීන් ප්‍රතික්ෂේප කල යුතුය. ගම්බද දුගී ගොවීන්ට තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගත හැක්කේ ධනවාදය ට එරෙහි සටන් වැදීමේ එකම විප්ලවවාදී සමාජ බලවේගය් වන කම්කරු පන්තිය සමග සන්ධානගත වෙමින් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ ධනපති පන්ති පාලනයට එරෙහි ව කරන කම්කරුවන්ගේ  හා ගොවීන්ගේ ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි.

ඒ සඳහා කම්කරුවන් සහ ගොවීන්, සියලු ධනපති පක්ෂ වලින් සහ ඒවාට තමන් ව ගැට ගැසීමට ක්‍රියාකරන වෘත්තීය සමිති, ගොවි සංවිධාන හා ව්‍යාජ වාම පක්ෂ වලින් ස්වාධීනව  කම්කරුවන්ගේ හා ගොවීන්්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය.

එම ක්‍රියාකාරී කමිටු පහත සඳහන් ඉල්ලීම් සඳහා සටන් කලයුතු යුතු යයි සසප යෝජනා කරයි:   

විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු!

ගොවීන්ගේ නය ගැතිකම අහෝසි කරනු!  සහනදායි නය සම්පාදනය කරනු! 

බීජ, පොහොර සහ කෘෂි උපකරන පහසු මිලට සම්පාදනය කරනු!

මහා පරිමාන ඉඩම්, කෘෂි සමාගම් හා ධනපති බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරනු! ගොවීන්ගේ නයගැතිකම අහෝසි කොට ඔවුන්ට සහන කොන්දේසි යටතේ නය ලබාදීම සහ බීජ, පොහොර සහ කෘෂී උපකරන පහසු මිලට සම්පාදනය කල හැක්කේ, අදාල සමාගම් හා බැංකු මෙලෙස කම්කරු පාලනය යටතේ ජනසතු කොට ධනපතියන්ගේ ලාභ ගැරීම නතර කිරීමෙන් පමනි. 

කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමේ වෙලඳ පොල පෞද්ගලික ඒකාධිකාරය අහෝසි කරනු! 

ගොවීන්ගේ ඉඩම් අයිතියට අත නොතබනු! 

කෘෂි වාරි ජලය මුදලට විකිනීමේ සැලසුම් අහෝසි කරනු!

මෙම ඉල්ලීම් සඳහා අරගලය ධනපති පන්ති පාලනය ට එරෙහි සටනකි. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසිකොට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකි. කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ සමාජ අයිතීන් තහවුරු  කල හැක්කේ එවන් ආන්ඩුවක් යටතේ මහා සමාගම් අතෙහි පවත්නා නිෂ්පාදන මාධ්‍යයන්, බැංකු සහ මහා වතු කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතට ගෙන ඒමෙනි.

කම්කරු පන්තිය දුගී ගොවීන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්  සඳහා අරගලයෙහි  නායකත්වය ගනිමින් ගම්බද දුගී ගොවීන් තමා වටා රැලිකරගත් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමට පෙරට ආ යුතුය

එම දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා දේශපාලන පදනම සකසන  කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතාන්ත්‍රික ලෙස තෝරා පත් කරගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප සටන් වදී.

Loading