සසප ජනාධිපති අපේක්ෂකයා මාධ්‍යවලට සහ ප්‍රසිද්ධ රැස්වීම්වලදී කතා කරයි

[මෙය Sri Lanka: SEP presidential candidate speaks to media, public meetings යන මැයෙන් 2024 සැප්තැම්බර් 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සැලකිය යුතු කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ස්ථර සමග සාකච්ඡා පවත්වමින් සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා පුලුල් උද්ඝෝෂනයක නිරතව සිටී.

සසප, දිගුකාලීන හා ප්‍රමුඛ පක්ෂ සාමාජිකයෙකු වන පානි විජේසිරිවර්ධන තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබේ. පසුගිය සති දෙක පුරා ඔහු කොලඹ, යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ යාපනය, මධ්‍යම තේ වතු සහිත දිස්ත්‍රික්කයේ හැටන් සහ දකුනේ මාතර යන ප්‍රදේශවල මහජන රැස්වීම් ආමන්ත්‍රනය කලේය.

සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන 2024 අගෝස්තු 17 දින අයිටීඑන් රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටිමින්. [ඡායාරූපය: අයිටීඑන් ශ්‍රී ලංකා] [Photo: ITN Sri Lanka]

සසප උද්ඝෝෂනයට, උතුරේ යාපනයේ දෙමල ජනතාවගෙන් ද ඇතුලුව මෙම සියලු ප්‍රදේශ වල දී බලගතු ප්‍රතිචාරයක් ලැබී ඇත. පක්ෂය, රටේ දෙමල සුලුතරය අතර වැදගත් ආධාරක පදනමක් ගොඩනඟා ගෙන ඇත්තේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් වසර 26 ක් පුරා ගෙනගිය දෙමල විරෝධී යුද්ධයට සහ සියලු ආකාරවල වර්ගවාදී වෙනස්කම්වලට එරෙහිව එය පමනක් ම අනවරතව විරුද්ධත්වය දක්වා තිබීමෙනි.

අස්ථාවර දේශපාලන තත්වය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරමින් විජේසිරිවර්ධන මෙසේ පැවසීය: “මැතිවරන දිනය ලං වන විට, ප්‍රමුඛ ධනේශ්වර පක්ෂවල අපේක්ෂකයින් උමතු උද්ඝෝෂනයක් තීව්‍රකරලා තිබෙනවා. ඔවුන් ජනතාව රවටා ඔවුන්ගේ ඡන්ද ඩැහැ ගැනීමට කප්පරක් පොරොන්දු දෙමින් සිටිනවා.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරන ලද කප්පාදු පියවර ක්‍රියාවට නංවමින්, විවිධ බදු වැඩිකිරීම් පනවමින්, පුද්ගලීකරනය කරා ගමන් කරමින් සුභසාධන වැඩසටහන් කප්පාදු කරමින් ඉන්නෙ. රජයේ සේවකයන්ගේ කිසිදු වැටුප් වැඩිවීමක් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කලා; ඔවුන්ගේ විරෝධතා නිර්දය ලෙස බිඳ දැමීමට පොලිසිය මුදා හැරියා.

“දැන්, ඔහු ජනාධිපතිවරනයට තරඟකරමින් සිටින තත්වයක් තුල, පීඩාකාරී උපයන විට ගෙවන (PAYE) බද්ද කපා හරින බවත්, ඇත්ත වශයෙන්ම, ඔක්තෝබර් මාසයෙන් පසුව, රජයේ සේවකයන් සඳහා රුපියල් 25,000 ක වැටුප් වැඩිවීමක් කරන බවත්‍ වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා!

“විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලවේග පෙරමුනේ ප්‍රධානියා වන අනුර කුමාර දිසානායක ද හිස් පොරොන්දු දී තිබෙනවා. දිසානායකගේ මැතිවරන ප්‍රකාශනයේ නම ‘පොහොසත් ජනතාවක්! සුන්දර රටක්!’

“කෙලින්ම දවල්හීනවලින් ගත්ත මේ පොරොන්දු අමූලික බොරු. මේ සියලුම පක්ෂ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට කැපවෙලයි ඉන්නෙ.

“මෙම මැතිවරනය එන්නේ 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමෙන් වසර දෙකකට පස්සෙ. මහජන නැගිටීම තුඩු දුන් එකදු ප්‍රශ්නයක්වත් විසඳී ඇත්තේ නෑ. දරිද්‍රතාවය, විරැකියාව, ජීවන වියදම් අර්බුදය සහ අනෙකුත් ගැටලු වඩාත් නරක අතට හැරිලා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය තීව්‍ර කෙරිලා තියෙනවා.”

විජේසිරිවර්ධන පැවසුවේ, මෙම පක්ෂවල ව්‍යාජ පොරොන්දුවලින්, ඔවුන් විසින් නිර්මානය කර ඇති කාලකන්නි සමාජ තත්වයන් කෙරෙහි කැකෑරෙන මහජන කෝපය පිලිබඳ ඔවුන්ගේ ග්‍රස්තිය පිලිබිඹු කෙරෙන බවයි.

ඊට අමතරව, ධනේශ්වර අපේක්ෂකයින් සියල්ලෝම මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වමේ අපේක්ෂකයෝද තුන්වන ලෝක යුද්ධයක වැඩෙන තර්ජනය ගැන මුලුමනින්ම නිහඬය.

“අපේ පක්ෂය විතරයි, වැඩකරන ජනතාවට සහ තරුනයින්ට සත්‍යය ප්‍රකාශ කරන්නේ. ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නැති බවත්, ජාතික විසඳුමක් නැති බවත්‍ අපි අවධාරනය කරනවා.”

සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයන්, විජේසිරිවර්ධනගේ මැතිවරන ප්‍රකාශයේ දෙමල සහ සිංහල භාෂා පිටපත් දස දහස් ගනනක් බෙදා හැර ඇත.

න්‍යෂ්ටික ලෝක යුද්ධයේ හා ෆැසිස්ට්වාදයේ තර්ජනය, වැඩෙන සමාජ අසමානතාව සහ ජාමූඅ කප්පාදුවට එරෙහිව සමාජවාදී විකල්පයක අවශ්‍යතාව ඇතුලු ප්‍රකාශනයේ මතුකර ඇති ප්‍රධාන ප්‍රශ්න පිලිබඳව, සසප උද්ඝෝෂකයින් හිතන මතන බොහෝ පුද්ගලයන් සමග සාකච්ඡා පවත්වා ඇත.

විජේසිරිවර්ධන, ලංකා විදුලිබල මන්ඩලය, ටෙලිකොම් සහ රක්ෂන සංස්ථාව පුද්ගලීකරනය කිරීමට එරෙහිව ක්‍රියාකාරී කමිටු සාමූහිකය විසින් අගෝස්තු 14දා සංවිධානය කරන ලද රැස්වීමක් ද ඇමතීය. පුද්ගලීකරනයේ පලමු පියවර ලෙස ප්‍රතිව්‍යුහගත කෙරෙන ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් අතර මේවා ඇත.

පුද්ගලීකරනයට එරෙහිව තම රැකියා සහ වැටුප් ආරක්ෂා කර ගැනීම සඳහා කරන කම්කරු අරගල, වෘත්තීය සමිති විසින් අවහිර කල ආකාරය ඔහු පැහැදිලි කලේය.

2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම අතරතුර, සියලු ධනේශ්වර පක්ෂ සහ ව්‍යාජ වම්මු විසින් ගෙන ආ ධනේශ්වර “අන්තර්වාර ආන්ඩු” යෝජනාවට එරෙහිව සසප සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේය. නැගිටීම අතරතුර කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ සසප අරගලය සිහිපත් කරමින් විජේසිරිවර්ධන පැවසුවේ, “කම්කරුවන් සහ පීඩිත ජනතාව ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බව අපි අවධාරනය කලා. ඒවායේ නියෝජිතයන්ගේ පදනම මත අපි කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවිය යුතුයි.

“කම්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අරගලය සංවිධානය කරන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කිරීමට ඇති වේදිකාව එය වන නිසා, අපි මෙම වැඩපිලිවල සඳහා සහ මෙම සම්මේලනය ගොඩනැගීමට අඛන්ඩව උද්ඝෝෂනය කරනවා.

“සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අරගලයේ දී ගම්බද ජනතාව සමග සන්ධානයක් තුල කම්කරුවන් බලමුලු ගැන්වීමට සහ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම හරහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට, අපගේ පක්ෂය මෙම සම්මේලනය තුලදී සටන් වදිනු ඇති.”

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර 2024 අගෝස්තු 17 වැනි දින අයිටීඑන් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක [ඡායාරූපය: අයිටීඑන් ශ්‍රී ලංකා] [Photo: ITN Sri Lanka]

සසප අපේක්ෂකයාට පක්ෂයේ වැඩපිලිවෙල පැහැදිලි කිරීමට මාධ්‍ය තුල අවස්ථාවන් ද ලැබිනි.

විජේසිරිවර්ධන සහ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර අගෝස්තු 17 දා රජයේ අයිටීඑන් රූපවාහිනී නාලිකාවෙහි පැයක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූහ. ඔවුහු සාකච්ඡාවේදී, පක්ෂයේ මූලාරම්භය සහ එහි දේශපාලන අරගලය ගැන පැහැදිලි කලහ. එය විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා දහස් ගනනක් නරඹා තිබේ.

පක්ෂයේ ඉතිහාසය පිලිබඳව, සාකච්ඡාව මෙහෙයවන්නන්ගේ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ජයසේකර, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස සසප ගැන ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් පිලිබඳ සාරාංශයක් සැපයීය.

පසුගාමී රටවල ස්ටැලින්වාදී නිලධරයට හා ජාතික ධනේශ්වර ප්‍රවනතාවන්ට අනුගත වෙමින්, පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවනතාවයක් 1950 ගනන්වල මුල් භාගයේ දී හතරවන ජාත්‍යන්තරය තුල මතු වූ බව ඔහු පැහැදිලි කලේය. ට්‍රොට්ස්කිවාදීහු මෙම සංශෝධනවාදී ප්‍රවනතාවෙන් බිඳී හජාජාක පිහිටුවා ගත්හ. පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවනතාව, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල අතහැර අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුලු වූ ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) 1964 මහා පාවාදීම සඳහා මග පෑදීය. සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවා ගැනුනේ, මෙම පාවාදීමට එරෙහිව හජාජාක අරගලයේ පදනම මත තරුන කන්ඩායමක් විසිනි.

අද දැවෙන ප්‍රශ්න නම්, එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් තුන්වන ලෝක යුද්ධයක් කරා තල්ලු වී යාම, සමාජ අසමානතාවය, විරැකියාව සහ කොවිඩ්-19 වැනි විනාශකාරී වසංගත බව සසප නායකයෝ එහිදී සඳහන් කලහ.

“මෙම ගැටලු විසඳාගත හැකිවන්නේ, ගෝලීය වශයෙන් ධනේශ්වර ක්‍රමය ජය ගැනීම හරහා බලය අතට ගෙන ජාත්‍යන්තරව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනක් බව අපි අවධාරනය කරනවා...” යැයි ජයසේකර කීවේය.

සසප අපේක්ෂක විජේසිරිවර්ධන 2024 අගෝස්තු 27දා සියත නාලිකාවේ, "ටර්නින් පොයින්ට්" නම් වැඩසටහනේ කතා කරමින්. [ඡායාරූපය: සියත] [Photo: Siyatha]

තවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන සියත අගෝස්තු 27 දා ඔවුන්ගේ ජනප්‍රිය 'ටර්නින් පොයින්ට්' (“හැරවුම් ලක්ෂ්‍යය”) වැඩසටහන පැය දෙකකට ආසන්න කාලයක් විජේසිරිවර්ධන සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. පක්ෂයේ මූලාරම්භය, හජාජාක, ට්‍රොට්ස්කිවාදය, ව්‍යාජ-වාම සංවිධාන සහ හතරවන ජාත්‍යන්තරයේ සංක්‍රමන වැඩසටහන ඇතුලු ප්‍රශ්න ගනනාවකට දීර්ඝ පැහැදිලි කිරීම් සැපයීමට සසප අපේක්ෂකයාට හැකි විය. මෙම සාකච්ඡාවට සියත යූ ටියුබ් නාලිකාවේ සහ එය සජීවීව විකාශය කල සසප ෆේස්බුක් පිටුවේ නැරඹුම් වාර දහස් ගනනක් ලැබී තිබේ.

නරඹන්නන් ගනනාවක් වැඩසටහන ගැන හිතකර අදහස් දැක්වීම් පල කලහ. 'විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාවය පිලිබඳ මෙම පැහැදිලි කිරීම අගය කල යුතුය', අයෙක් ලියා තිබුනේ ය.

තවත් ප්‍රමුඛ පෙලේ රූපවාහිනී නාලිකාවක් වන සිරස ටීවී නාලිකාව, විජේසිරිවර්ධන සමඟ පැය භාගයක සම්මුඛ සාකච්ඡාවට ද දහස් ගනනක් නැරඹුම් වාර ලැබී තිබේ.

මුද්‍රිත මාධ්‍ය, විශේෂයෙන්ම දෙමල මාධ්‍ය, සසප මැතිවරන ව්‍යාපාරය එහි මාධ්‍ය සාකච්ඡා සහ අනෙකුත් රැස්වීම් ආවරනය කරමින් වාර්තා පල කර තිබේ. ප්‍රමුඛ පෙලේ ඉංග්‍රීසි පුවත්පතක් වන ද මෝර්නිං පුවත්පත විජේසිරිවර්ධනගේ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් පල කලේය.

සසප අපේක්ෂකයා ජාතික පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවක සසප ෆේස්බුක් පිටුවේ යලි පල කලවිට එයට ප්‍රතිචාර දක්වමින්, නිමේෂ් දේවංග නම් තරුනයෙක් මෙසේ ලියා තිබුනි: “ මේ වැඩපිලිවෙල ඇරෙන්න වෙන කිසිම වැඩපිලිවෙලක් නෑ. ඇත්තටම සතුටුයි කම්කරු පන්තියේ නිර්ධන පන්තිය වෙනුවෙන් මාක්ස්වාදය ආරක්ෂාව උදෙසා මේ වැඩපිලිවෙල පිලිබඳව. ඔබලාගේ න්‍යාය ඉතා හොඳයි භාවිතයත්. අධ්‍යනය කරනවා. ජය. දැනට කියවපු (වැඩපිලි)වලින් හරිම වැඩපිලිවෙල මේක. විවාදයක් නෑ ඒ ගැන. ලෝක සමාජවාදී විප්ලවයට ජය.”

කොලඹ වරායෙන් පිටත මැතිවරන උද්ඝෝෂනයක් අතරතුර එක් කම්කරුවෙක් සසප උද්ඝෝෂකයන්ට කීවේ, “[ජවිපෙ-ජාජබ] නායක අනුර දිසානායක ඇතුලු කිසිදු අපේක්ෂකයෙක් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ වන බව මට අසන්නට ලැබුනේ නැති” බවයි.

“මේ දේශපාලනඥයෝ අවුරුදු 76 ක් මේ රට පාලනය කරලා අපේ ජීවිත විනාශ කලා. විදේශ නය ගොඩගැහිලා,” ඔහු සසප වැඩපිලිවල දැන ගැනීමට කැමැත්ත පල කලේය.

Loading