සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන සමග ඩේලි මෝර්නිං පුවත්පත කල සම්මුඛ සාකච්ඡාවක්

කම්කරු පන්තියේ දේශපාලන සාක්ෂරතාව ඉතා පහලයි”

මෙය, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන ඩේලි මෝර්නිං පුවත්පතේ සුමුදු චාමර සමග කල සම්මුඛ සා කච්ඡා වක පරිවර්තනයකි. එය, 'Political literacy of the working class, very low'
යන මැයෙන්, 2024 අගෝස්තු 21 දා එම පුවත්පතේ පලවිය.

පානි විජේසිරිවර්ධන

ලොව පුරා කම්කරු පන්තියේ දේශපාලන සාක්ෂරතාව ඉතා පහල මට්ටමක පවතී. අවධාරනාත්මකව, අද දින, සමාජවාදීන් බවට ව්‍යාජ ව අඟවමින් ඉහල-මධ්‍යම පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන ව්‍යාජ-වාම සංවිධාන විසින් ඉදිරියට දමන විවිධාකාර දෘෂ්ටිවාදයන්, කම්කරු පන්තියෙහි දේශපාලන විඥානය වර්ධනය කිරීමට එරෙහි ව පවතින සුවිශාල බාධාවක් ලෙස පවතී. මෙය අවධානයට ලක්කරන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන, ඔහුගේ ප්‍රධාන අභිලාෂය පවතින්නේ කම්කරු පන්තියේ දේශපාලන සාක්ෂරතාව නොහොත් කම්කරු පන්තියේ දේශපාලන විඥානය පිලිබඳ ව බව පැහැදිලි කලේ ය.

2024 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ දී, ද ඩේලි මෝනිං සමග සම්මුඛ සාකච්ඡාවක යෙදුනු ඔහු, පුරවැසියන්ගේ පහල දේශපාලන සාක්ෂරතාවට අමතර ව, අනෙකුත් කන්ඩායම් අතර, ධනපති බලවේගයන් හා ධනපති ප්‍රභූව විසින් ඍජු ව හෝ වක්‍ර ව ආනුභාවය දරන කොතරම් සමාජ-ආර්ථික ප්‍රශ්න කෙතරම් පවතීදැයි විස්තර කලේ ය. ආර්ථික අර්බුදය වංචාවේ, දූෂනයේ හා අල්ලසේ ප්‍රතිඵලයක් බවට සිඳුවීම, ධනවාදයේ ආරක්ෂකයන් විසින් දරන දැනුවත් ප්‍රයත්නයක් බවට ද ඔහු අදහස් පලකලේ ය.

පහත පලවන්නේ සම්මුඛ සාකච්ඡාවේ කොටස් ය:

ආර්ථික ප්‍රකෘතිය සඳහා ඔබගේ ප්‍රතිපත්ති හා මූලෝපායන් මොනවා ද?

සියලු දේශපාලන පක්ෂ සහ විවිධාකාර සංවිධාන “අර්බුදයෙන් රට බේරාගැනීම” පිලිබඳ ව කතා කරනවා. එහෙත්, මේ රට කියන්නේ මොකක් ද? එක් අතකින් ධනපති පන්තියක් සහ අනෙක් පසින් කම්කරු පන්තිය හා දුගී ජනයා වැනි එහි මිතුරන් සිටිනවා. ‘අර්බුදයෙන් රට බේරාගැනීම’ ගැන කතා කිරීමේ දී ධනපති පන්තිය කතා කරමින් සිටින්නේ, අර්බුදයෙන් ධනපති පන්තිය බේරාගැනීම පිලිබඳව යි.

අපි කම්කරු පන්තියේ දුෂ්කර සමාජ කොන්දේසි පිලිබඳ උත්සුක වෙනවා. කම්කරුවන් මත අර්බුදයේ බර පටවමින් සිටින ආන්ඩුව හා ධනපති පන්තිය, දරාගත නො හැකි ජීවන හා සමාජ කොන්දේසි නිර්මානය කර තිබෙනවා.

ධනපති ක්‍රමය ඇතුලත මෙම තත්ත්වය විසඳිය හැක්කේ කෙසේ ද? නිෂ්පාදනය, බෙදාහැරීම හා ආර්ථිකයේ සියලු ලීවරයන් පවතින්නේ ධනපති පන්තිය සන්තකයේ. ධනපතියන් අතලොස්සකගේ ලාභ වෙනුවට, සමාජයේ බහුතරය වන කම්කරුවන්ට හා දුගීන්ට සේවය කරන පරිදි ආර්ථිකය ප්‍රතිසංවිධානය කල යුතු වෙනවා. මෙහි අර්ථය වන්නේ, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසිවල ආරක්ෂාව සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදී පිලිවෙත් ඔස්සේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම හරහා පමනක් බව යි. අර්බුදයෙන් ධනවාදය බේරාගැනීම පිලිබඳ ධනපති පක්ෂවල සටන් පාඨයෙන් අපි වෙන්වෙනවා.

ලංකාවේ ධනපති පන්තියේ අර්බුදය ගෝලීය ධනේශ්ව ක්‍රමයේ අර්බුදයෙහි කොටසක්. 2008 ගෝලීය මූල්‍ය පද්ධතියෙහි කඩාවැටීම හා පවතින කෝවිඩ්-19 වසංගතය මෙම අර්බුදය ගැඹුරු කර තිබෙනවා. එක්සත් ජනපද-උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය (නැටෝ), යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධය හා අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය සමගින් ගාසා තීරය තුල ඊස්රායලය ගෙන යන ජනසංහාරක යුද්ධය, අර්බුදය වැඩිදුර තීව්‍ර කරමින් තිබෙනවා. ගෝලීය ධනේශ්වර ක්‍රමය ඓතිහාසික අර්බුදයක් මැදින් ගමන් කරමින් සිටිනවා. මෙම පද්ධතිමය කඩාවැටීම ධනපති ක්‍රමයේ පරස්පර-විරෝධයන් ගැඹුරු වීමේ ප්‍රතිඵලයක්. එම පරස්පර-විරෝධයන් වන්නේ, නිෂ්පාදන බලවේගවල පුද්ගලික අයිතිය හා නිෂ්පාදනයේ සාමාජීයකරනය අතරත්, භූගෝලීකෘත නිෂ්පාදනය හා ප්‍රතිමල්ලව ජාතික-රාජ්‍ය පද්ධතිය අතරත් පවතින පරස්පර-විරෝධයන්. අර්බුදය මෙම ඓතිහාසික සන්දර්භයෙන් උපුටා, එය වංචා, දූෂන හා අල්ලස්වල ප්‍රතිඵලයක් බවට ලඝුකිරීම, ධනවාදයේ ආරක්ෂකයන් දරන දැනුවත් ප්‍රයත්නයක්. මෙම ජාත්‍යන්තර අර්බුදය මධ්‍යයේ, ප්‍රධාන බලයන් යලිත් විජිතවාදය සඳහා යුද්ධයක් සූදානම් කරද්දී, සියලු ධනපති පාලන තන්ත්‍ර අර්බුදයේ බර වැඩකරන ජනයාගේ පිට මත පටවමින් සිටිනවා. පාලක පන්තීන්ට වෙනත් විකල්පයක් නැහැ. මානව වර්ගයා ග්‍රහලෝකයෙන් අතුගා දමන විනාශකාරී ලෝක යුද්ධයක් දෙසට වර්ධනය වෙමින් තිබෙන යුද්ධ වැලැක්විය හැක්කේ, සමාජවාදයේ පදනම මත කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන්, ඒ කියන්නේ, ගෝලීය ධනපති ක්‍රමයට එල්ල කරන පෙරමුනු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් හා ලාභ පද්ධතිය අවසන් කිරීම සඳහා ලෝක සමාජවාදී විප්ලවයට සටන් කිරීමෙන් පමනයි.

සසප අපි හා අපේ ලෝක ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මෙම ක්‍රියාමාර්ගයට සටන් කරනවා. මේ පදනම මත, සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම, බැංකු, මහා සංගත හා විශාල සමාගම් කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කිරීම මගින් ධනය යලි බෙදාහැරීම, බිලියනපතියන්ගේ සමුච්ඡිත ධනය අත්පත් කරගෙන එම ධනය සමාජ වැඩසටහන්වලට යෙදවීම හා දුගීන්ට අවශ්‍ය සහනාධාර සම්පාදනය කිරීම සඳහා අපි කැඳවුම් කරනවා.

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන සලකා බලද්දී ශ්‍රී ලංකාව ගත යුත්තේ කවර ආකාරයේ ප්‍රවිෂ්ටයක් කියා ද ඔබ හිතන්නේ?

ලාභ නො ලබන රාජ්‍ය සංගත පිලිබඳ ව කටයුතු කිරීමේ ප්‍රශ්නය ඉස්මතු කර තිබෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන ආන්ඩුව හා අනෙක් සියලු පක්ෂ විසින්. ඔවුන්ගේ විසඳුම වන්නේ මෙම සංගත පුද්ගලීකරනය හෝ වානිජකරනය කිරීම යි. මේ බොහෝ ආයතන අතීතයේ දී ස්ථාපිත කලේ මහජනතාවට සහන මිලට සේවා හෝ භාන්ඩ සැපයීම සඳහා. මෙම ආයතන ධනපති ක්‍රමය ඇතුලේ එම අර්බුදයට ම මුහුන දෙමින් සිටිනවා.

පුද්ගලීකරන හා වානිජකරන විසඳුමේ ඉලක්කය වන්නේ, මෙම අංශ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ට නිදහස් කිරීම යි. ඔවුන්ගේ ඉල්ලීම මෙය යි. එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක ඇප නය අනුමත කිරීමේ දී ජාමූඅ දැමූ කොන්දේසියක් වූයේ, මෙම පිලිවෙත් ඔස්සේ රජයට අයත් ව්‍යවසායයන් ‘ප්‍රතිසංස්කරනය’ කිරීම යි. මෙම වැඩසටහන තුඩු දෙනු ඇත්තේ, රැකියා විනාශය, වැටුප් කප්පාදු හා වැඩ බර ඉහල දැමීමට පමනයි. සමාජවාදී ක්‍රියාමාර්ගය සඳහා සටනේ කොටසක් ලෙස මේ සියලු සංගත කම්කරුවන්ගේ පාලනය යටතේ තැබිය යුතු බවට අපි කැඳවුම් කරනවා.

13වන ව්‍යවස්ථා සංශෝධනය මුලුමනින් ක්‍රියාත්මක කිරීම ඇතුලු ව, උතුරේ හා නැගෙනහිරේ ජාතික වාර්ගික ප්‍රශ්නය විසඳීමට ඔබට තියෙන්නේ මොන වර්ගයේ විසඳුම් ද?

13වන සංශෝධනය පෙන්වන ලද්දේ උතුරේ හා නැගෙනහිරේ දෙමල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ප්‍රදානය කිරීමක් හැටියට. එය ව්‍යාජයක්. දෙමල ප්‍රභූවට සීමිත බලය බෙදීමක් ප්‍රදානය කරන අතරතුර, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) නිරායුධ කිරීම සඳහා ඉන්දියාවේ හා ලංකාවේ ආන්ඩු අතර 1987 ජූලි මාසයේ දී ඇති කරගත් එකඟතාවේ කොටසක් ලෙස එය පැටවූවා. සිංහල වර්ගවාදී කන්ඩායම් හා ඔවුන් සමග සන්ධානයේ සිටි කොලඹ සියලු ආන්ඩුවල විරුද්ධත්වය නිසා, බලය බෙදීමේ මෙම සීමිත මාදිලිය පවා ක්‍රියාත්මක කර නැහැ.

එහෙත්, ධනපති ආන්ඩු හා දෙමල ප්‍රභූව අතර මෙම එකඟතාව, දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම හා ඔවුන්ට කරන වාර්ගික වෙනස්කම් අවසන් කරන්නේ නැහැ. මුල පටන් ම, මෙම පදනමින් 13වන සංශෝධනයට සහයෝගය නො දුන් අපි, වර්ගවාදී උද්ඝෝෂනය හෙලිදරවු කරමින් එයට විරුද්ධ වුනා. 1948 දී ඒකීය රාජ්‍යයක් ස්ථාපිත කිරීම සහ කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් අහෝසි කිරීම සමගින් මෙම වෙනස්කම් කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය ආරම්භ කලා. සිංහලය රාජ්‍ය භාෂාව හා රටෙහි ව්‍යවස්ථාව තුල ප්‍රමුඛ ආගම බුද්ධාගම ලෙස ඇතුලු කිරීම දක්වා මෙය ඉදිරියට ගියා. සුලුතරයන්ට එරෙහි එවැනි වෙනස්කම් හා වාර්ගික ආතතිය ඇවිලවීම, කම්කරු පන්තිය බෙදා දුර්වල කොට ධනපති ක්‍රමය ආරක්ෂා කරගැනීම සඳහා ධනපති පාලක පන්තිය ගෙන යන පන්ති-පාදිත මූලෝපායේ කොටසක් වුනා. බහුල වසයෙන් දෙමල සිවිල් වැසියන් ඇතුලු ව පුද්ගලයන් ලක්ෂ ගනනක් මරා දැමුනු 26-අවුරුදු වාර්ගික ගැටුමට එය තුඩු දුන්නා.

මෙම ගැටුමට විරුද්ධ වූ සසප හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ සමග ම, අපි දෙමල වාර්ගිකවාදයට හා බෙදුම්වාදයට විරුද්ධ වුනා. පීඩිත ජනයා රැලිකරගන්නා සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව වෙනුවෙන් සටන් වැදුනු හා තවමත් සටන් වදින අපි, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ධනවාදය පෙරලාදැමීම වෙනුවෙන් පෙනී සිටිනවා. සියලු වෙනස්කම් කිරීම්වල මූලාශ්‍රය වන ධනවාදයට පෙරමුනු ප්‍රහාරයක් එල්ල නොකොට, ජාතික පීඩනය අවසන් කල නො හැකි යි.

ව්ලැදිමීර් ලෙනින් සමග 1917 රුසියානු විප්ලවයේ සම-නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කි විස්තාරනය කල නොනවතින විප්ලවයේ න්‍යායය හා ක්‍රියාමාර්ගය මත අපි අපේ අරගලය පදනම් කරනවා. රුසියානු විප්ලවය පදනම් වූයේ මෙම ක්‍රියාමාර්ගය මත යි. කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ධනේශ්වරයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට ආමන්ත්‍රනය කල නො හැකි බව නො නවතින විප්ලව න්‍යායය විග්‍රහ කරනවා. ලංකාවේ, ඉන්දියාවේ සහ ඒ හා සමාන රටවල ධනේශ්වර පාලක පන්තීන්, ඔවුන්ගේ ප්‍රතිගාමී පාලනයට මුක්කු ගසා ගනු වස්, මහජනතාවගේ එක කොටසක් තවත් කොටසකට එරෙහි ව පිහිටුවීම සඳහා වාර්ගික බෙදීම් භාවිතා කරමින් සිට ඇත්තේ කෙසේදැයි අපි දැකගන්නවා.

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සසප සටන් කරමින් සිටිනවා. මෙය මනෝරාජික අදහසක් නෙවෙයි. මෙය එක ම යථාර්ථවාදී ක්‍රියාමාර්ගය යි. මේ රටේ හා ජාත්‍යන්තර ව පවතින ඓතිහාසික පාඩම් දෙස බලන්න. අනෙකුත් ක්‍රියාමාර්ගයන් මහජනතාවට එක් විනාශයකට පසු තවත් විනාශයක් නිර්මානය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය ශක්තිමත් කිරීමට ඔබ යෝජනා කරන්නේ කෙසේ ද?

ධනේශ්වර පක්ෂ හා ආන්ඩු කියාපාන්නේ ඔවුන් ‘නීතියේ පාලනය’ පවත්වාගෙන යන බව යි. අතීතයේ දී හා වර්තමානයේ දී, මෙය ව්‍යාජ කියාපෑමක් බව ඔබට දැකිය හැකියි. ඔවුන් ඔවුන්ගේ බලය යොදාගන්නේ ඔවුන්ගේ පාලනය හා ධනය රැකගැනීමට යි. නීතිය පිලිබඳ ව නො තකන ඔවුන්, ඔවුන් ම නිර්මානය කර ඇති නීතිය උල්ලංඝනය කරනවා. ධනවාදයේ අර්බුදයත්, මෙම ක්‍රමය ඇතුලත ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීමත් මෙමගින් අර්ථවත් කරනවා. ඔවුන් වේගයෙන් ආඥාදායකත්වයක් කරා තල්ලු වෙමින් සිටිනවා.

ආන්ඩු හා පාලක පන්තියේ අනෙකුත් කොටස් නීතිය උල්ලංඝනය කරන්නේ හා ඔවුන්ගේ පන්ති-සම්බන්ධිත අවශ්‍යතා වෙනුවෙන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පවා වල කපන්නේ කෙසේදැයි අපි හෙලිදරවු කරනවා. එහෙත්, නීතියේ පාලනය ස්ථාපිත කරන ලෙස පාලක පන්තියට ආයාචනා නො කරන අපි, ඒ වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වල ආරක්ෂාව සඳහා සටන් කරනවා. ධනපති ක්‍රමය ඇතුලත කම්කරුවන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත නො හැකි බව අපි පැහැදිලි කරනවා.

රාජ්‍ය ආදායම් වර්ධනය කිරීමට ඔබ යෝජනා කරන පියවරවල් මොනවා ද? පවතින බදු ක්‍රමය හා මහජනයා මත පවතින බදු බර ගැන ඔබේ අදහස් කුමක් ද?

ලංකාව ද ඇතුලු ව, ලොව පුරා පාලක පන්තීන්, ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු පන්තිය හා පීඩිත මහජනතාව මත පටවමින් සිටිනවා. රාජ්‍ය ආදායම වැඩි කරගනු වස්, වැඩකරන ජනයා මත යෝධ බදු බර පටවමින් සිටින ධනපති ආන්ඩු, බදු නිදහස් කිරීම් ඇතුලු සැලකිය යුතු බදු සහන මහ ව්‍යාපාරිකයට ප්‍රදානය කරමින් සිටිනවා. ජාමූඅ අවධාරනය කරන්නේ රාජ්‍ය ආදායම තව තවත් වැඩි කරගැනීමක් ගැනයි. මේ කොන්දේසි යටතේ, ජනාධිපතිවරනය හරහා කවර ආන්ඩුව තේරී පත්වූවත්, වැඩකරන ජනයා හා පීඩිත මහජනයා මත වඩ වඩා බදු බර අනිවාර්යයෙන් ම පැටවීමට නියමිත යි.

වැඩකරන ජනයා මත යෝධ බදු බර ඇතුලු ජාමූඅ-නියෝග කරන මෙම කප්පාදු පියවරවල ප්‍රතිඵල, ජනගහනයේ අතිමහත් බහුතර දරිද්‍රතාවට තල්ලු කරමින් සමාජ අසමානතාව තවදුර වැඩිකරනවා. ලෝක බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව, 2019 සිට 2024 දක්වා ලංකාවේ දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා වැඩි වී තිබෙනවා- ඒ කියන්නේ දෙගුනයකටත් වඩා වැඩිවෙලා. සමාජ අසමානතාව ගත් කල, ජනගහනයේ ඉහල ම සියයට 1 ජාතික ධනයෙන් සියයට 31කට හිමිකම් කියද්දී, පහල ම සියයට 50ට හිමි වන්නේ සියයට 4ට අඩු ප්‍රමානයක් පමනයි.

මේ කොන්දේසි යටතේ, කවර හෝ වියදමක් දරා ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීමට වැඩකරමින් සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ, ධනේශ්වර ආන්ඩුවලට උපදෙස් දෙමින් සිටින්නේ, මහ ව්‍යාපාරිකයෙන් නියමිත බදු එකතු කරගැනීම හෝ එසේ කරන ලෙස ඔවුන්ට බලකිරීම මගින් ආර්ථික අර්බුදය විසඳාගත හැකි බව යි. මහ ව්‍යාපාරිකයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ක්‍රියා කරන ආන්ඩුවලට ම මෙම ව්‍යාජ-වම්මුන් උපදෙස් දෙමින් හා පීඩනය යොදමින් සිටිනවා. මෙම ව්‍යාජ-වාම පක්ෂ මෙන් ධනේශ්වර රාජ්‍යයන් ආරක්ෂා කිරීමේ උවමනාවක් අපට නැහැ. එම නිසා, ධනේශ්වර රාජ්‍යයේ ආදායම් වැඩි කරගැනීම ගැන අපට යෝජනා නැහැ. යෝද බදු බර ඇතුලු ධනේශ්වර ආන්ඩු විසින් එල්ල කරන සියලු කප්පාදු ප්‍රහාරයන් පරාජය කරනු වස්, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පදනම් වන දේශපාලන ප්‍රති-ප්‍රහාරයක් සූදානම් කිරීම සඳහා පෙරට පැමිනෙන ලෙස අපි කම්කරු පන්තියට යෝජනා කරනවා.

ලාංකිකයන්ගේ සමස්ත දේශපාලන සාක්ෂරතාව ගැන ඔබේ අදහස කුමක් ද? එය වැඩි දියුනු කිරීමට ඔබ යෝජනා කරන්නේ කෙසේ ද?

මෙහි දී, ප්‍රධාන වසයෙන් අප උනන්දු වන්නේ කම්කරු පන්තියේ දේශපාලන සාක්ෂරතාව නොහොත් කම්කරු පන්තියේ දේශපාලන විඥානය ගැනයි. ලංකාවේ පමනක් නො ව, දියුනු ධනපති රටවල සිට ඌන-සංවර්ධිත ධනපති රටවල් දක්වා සියලු රටවල කම්කරු පන්තියේ දේශපාලන සාක්ෂරතාව පවතින්නේ ඉතා පහල මට්ටමක. එය, මාක්ස්වාදීන් හා සමාජවාදීන් ලෙස මවාපාමින්, විවිධාකාර ප්‍රති-මාක්ස්වාදී න්‍යායයන් හා දෘෂ්ටිවාදයන් ඉදිරියට දැමූ ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, පැබ්ලෝවාදී හා මාඕවාදී පක්ෂ විසින් කරනු ලබන පාවාදීම් හා විකෘත කිරීම්වල ප්‍රතිඵලයක්. සෝවියට් කම්කරු පන්තියෙන් බලය පැහැරගත් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සිදු කරන ලද ක්‍රමානුකූල පාවාදීම්, 1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය එම නිලධරය විසින් බිඳ විසිරවීම තුල ඉහල ම ලක්ෂ්‍යයට ලඟා වුනා. ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල යෝධ දේශපාලන ව්‍යාකූලත්වයක් හා පසු බැසීමක් මෙමගින් නිර්මානය කලා.

අද දින, සමාජවාදීන් ලෙස ව්‍යාජ ව මවාපාමින්, ඉහල-මධ්‍යම පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන ව්‍යාජ-වාම සංවිධාන විසින් ඉදිරියට දමන විවිධාකාර දෘෂ්ටිවාදයන්, කම්කරු පන්තියේ දේශපාලන විඥානයෙහි වර්ධනයට එරෙහි ව යෝධ බාධකයක් ලෙස පවතිනවා. උදාහරනයක් ලෙස, ‘පිටත බලයක්’ ලෙස ගොඩනගන ඊනියා මහජන කවුන්සිල හරහා, ධනේශ්වර පාර්ලිමේන්තුවට පීඩනය යෙදීම මගින් සමහර ප්‍රතිසංස්කරන දිනාගැනීමේ කෙටි-කාලීන ක්‍රියාමාර්ගයක් පෙසප විසින් ඉදිරියට දමමින් සිටින්නේ, ‘දීර්ඝ-කාලීන වැඩසටහනක්’ ලෙස ‘සමාජවාදය’ ඈත අනාගතයට කල් දමමින්. කම්කරු පන්තිය ධනේශ්වර පාර්ලිමේන්තුවට හා රාජ්‍යයට ගැටගැසීම මගින් එහි දේශපාලන විඥානය වර්ධනය කිරීම මත විනාශකාරී බලපෑමක්, පෙසපයේ එවන් ක්‍රියාවන් මගින් නිර්මානය කරනවා.

විවිධාකාර ප්‍රති-මාක්ස්වාදී දෘෂ්ටිවාදයන්ට එරෙහි ව, මාක්ස්වාදී ව්‍යාපාරය, අද දින නම් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් දියත් කරන දේශපාලනික හා න්‍යායික අරගලයේ පාඩම් සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ හා මාක්ස්වාදී ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම්, කම්කරු පන්තිය තුලට ගෙන ඒම මගින් කම්කරු පන්තියේ දේශපාලන විඥානය වර්ධනය කල හැකි යි. අද දින, මෙම කර්තව්‍යය ඉටු කරමින් සිටින්නේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ විසින්. හජාජාක නිල අන්තර්ජාල උපකරනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) එය තුල කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරමින් සිටිනවා. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෛනික පාඨකයන් වන ලෙසත්, සසප සහ එහි තරුන හා ශිෂ්‍ය අංශය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) වෙත බැඳී, සමාජවාදී විප්ලවයේ කර්තව්‍යය සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව හා න්‍යායික ව සූදානම් කිරීමට, එහි දේශපාලන විඥානය වර්ධනය කිරීම සඳහා එක් වන ලෙස මම කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන් හා පීඩිත මහජනයාගෙන් ඉල්ලා සිටිනවා.

Loading