සසප ජනාධිපතිවරන රැස්වීම්: යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායකත්වයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරමු!

(updated )

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) තම සමාප්ති ජනාධිපතිවරන ප්‍රචාරක රැස්වීම සැප්තැම්බර් 18 බදාදා සවස 4.00 ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පවත්වයි.

ජනාධිපතිවරනය සැප්තැම්බර් 21 වැනිදා පැවැත් වීමට නියමිත ය.

සසප, දිගුකාලීන පක්ෂ නායකයෙකු වන පානි විජේසිරිවර්ධන එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරයි. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සසප වැඩපිලිවෙල වෙනුවෙන් සටන් කිරීමේ දශක පහක අත්දැකීම් ඔහු සතු ය.

අපේ පක්ෂය පමනක් ම සත්‍යය කථා කරමින්, කම්කරුවන්ට, දුප්පතුන්ට සහ තරුනයින්ට ඔවුන් මුහුන දෙන බරපතල තත්වයත්, විප්ලවවාදී සමාජවාදී විකල්පයක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවයත් පැහැදිලි කරයි.

ජනාධිපතිවරනය පැවත්වෙන්නේ, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ධනේශ්වර ක්‍රමයේ ශීඝ්‍රයෙන් ගැඹුරු වන ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය.

ලොව පුරා සිටින එහි සගයන් මෙන් ශ්‍රී ලංකා ආන්ඩුව ද ඉහල යන මිල ගනන්, ගැඹුරු රැකියා කප්පාදුව සහ අත්‍යාවශ්‍ය සේවා කප්පාදුවේ බර වැඩකරන ජනතාව මත පටවමින් තිබේ.

දැන් එහි තුන්වන වසරට එලඹ ඇති යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, තව තවත් උත්සන්න වෙමින් පවතී. එක්සත් ජනපදයේ පිටුබලය ඇතිව ගෙන යන ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරක යුද්ධය ඉරානය ඉලක්ක කරගත් මැද පෙරදිග යුද්ධයක් දක්වා පුලුල් වෙමින් තිබේ. වොෂින්ටනය, ආසියාව තුල චීනයට එරෙහි යුද්ධයට සූදානම් වෙමින් සිටී. මෙම යුද පෙරමුනු තුන, න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් සම්බන්ධ වන විනාශකාරී ගෝලීය ගැටුමකට ඒකාබද්ධ වෙමින් පවතී.

දැනටමත් ගෝලීය වශයෙන් මිලියන 28 කට අධික ජනතාවක් මරනයට ඇද දමා තිබෙන කෝවිඩ්-19 වසංගතය, සියලු ආන්ඩුවල සාපරාධී “පැතිර යාමට ඉඩ හරිනු” ප්‍රතිපත්තියේ ප්‍රති ප්‍රතිඵලයක් ලෙස අඛන්ඩව ජීවිත බිලි ගනිමින් තිබේ.

ඉහල යන මිල ගනන්වල හා උග්‍ර හිඟයේ ව්‍යසනකාරී බලපෑමෙන් ශ්‍රී ලංකාව තුල ඇවිල ගිය, 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම, කම්කරු පන්තියේ ශක්තීන් සහ දුර්වලතා දෙකම පෙන්නුම් කලේ ය. හදිසි නීතිය නොතකා දසලක්ෂ ගනනක් ජනයා විරෝධතාවලට සම්බන්ධ වූ අතර, ජනාධිපති රාජපක්ෂට රටින් පලා යාමටත්, ඉල්ලා අස්වීමටත් බල කෙරුනි.

කෙසේ වෙතත්, මෙම නැගිටීම තුල, දේශපාලනික ආධිපත්‍යය දැරුවේ, වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම සංවිධාන විසිනි. සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන විරුද්ධ පක්ෂ, “අන්තර්වාර ආන්ඩුවක්” වැඩකරන ජනතාව මුහුන දෙන දැවැන්ත ගැටලු විසඳනු ඇතැයි යන මිත්‍යාව ප්‍රවර්ධනය කලහ.

ප්‍රතිඵලය වූයේ කුමක්ද? කිසිදු මහජන සහයෝගයක් නොමැති, දිගුකාලීන එක්සත් ජනපද ගැති සහ ජාමූඅ ගැති දේශපාලනඥයෙකු වන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් තවත් ධනේශ්වර ආන්ඩුවක් පාර්ලිමේන්තුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ස්ථාපනය කෙරුනි. ඔහු, විපක්ෂයේ සජබ, ජවිපෙ සහ වෘත්තීය සමිති ඇතුලු සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතයේ එකඟත්වය ඇතිව, ම්ලේච්ඡ ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය පටවා ඇත.

පුද්ගලීකරනය, රැකියා විනාශය, සහනාධාර සහ අත්‍යාවශ්‍ය සේවා කප්පාදුව පිලිබඳ ජාමූඅ වැඩපිලිවෙල, පුලුල්ව පැතිරුනු වැඩ වර්ජන හා විරෝධතා වලට තුඩු දී ඇත. එහෙත් නැවත නැවතත් ධනේශ්වර ගැති වෘත්තීය සමිති, වික්‍රමසිංහට සහ සහ ඔහුගේ රුදුරු පිලිවෙත්වලට එල්ලවෙන ඕනෑම අභියෝගයකට එරෙහි වෙමින්, මෙම අරගල කඩාකප්පල් කර ඇත.

සසප අවධාරනය කරන්නේ, ධනවාදයේ රාමුව තුල වැඩකරන ජනතාව මුහුන දෙන දැවැන්ත ගැටලු වලට විසඳුමක් නොමැති බවයි. ලාභ පද්ධතියේ සියලු ආරක්ෂකයින්ට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සටන් කිරීමට අපි ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නෙමු.

කම්කරු පන්තිය අවශ්‍ය නිගමනවලට එලැඹෙමින්, ඉදිරි අරගල සඳහා සූදානම් විය යුතුය. බලගතු විධායක ජනාධිපති ක්‍රමය ජයග්‍රහනය කර මීලඟ ආන්ඩුව පිහිටුවන කවරෙකු වුව ද, වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර වේගවත් කරනු ඇත.

කම්කරු පන්තියට තම පන්ති අවශ්‍යතාවන් ආරක්ෂා කර ගත හැක්කේ දේවල් තමන් අතට ගැනීමෙන් පමනි. සියලුම ධනේශ්වර දේශපාලන පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෑම වැඩබිමකම සහ තදාසන්න ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

පහත ඉල්ලීම් සඳහා සටන් කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී:

  • ජාමූඅ කප්පාදු එපා! සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු!
  • ධනය විශාල වශයෙන් යලි බෙදා හැරීමක් අවශ්‍ය වේ: කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කිරීම සඳහා සටන් වදිනු!
  • ග්‍රාමීය ගොවීන් සහ දුගීන් සඳහා සහනාධාර සහ සමාජ වැඩසටහන්!
  • සසප කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කරයි. සියලු ආකාර වර්ගවාදය සහ ජාතිකවාදය ප්‍රතික්ෂේප කරනු!

අපි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට එරෙහිව දේශපාලන හා කාර්මික ව්‍යාපාරයක් සැලසුම් කිරීමටත්, සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ පදනම දැමීමටත් ක්‍රියාකාරී කමිටු මගින් තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවුම් කරමු.‍

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ සගයින් වන්නේ, ධනවාදය විසින් නිපදවන ලද එම උග්‍ර ප්‍රශ්නවලට ම මුහුන දෙන ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් ය. යුද්ධය, සමාජ අර්බුදය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමේදී ලොව පුරා කම්කරුවන්ගේ එකමුතුව අත්‍යවශ්‍ය වේ.

අපගේ මැතිවරන රැස්වීමේදී, කථිකයන්, සසප වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය විස්තාරනය කරනු ඇත. එය වැඩකරන ජනතාවට සහ තරුනයින්ට මෙම දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වේදිකාවකි. එයට පැමින සහභාගී වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

රැස්වීම පැවැත්වෙන ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
දිනය සහ වේලාව: අගෝස්තු 16 ප.ව. 4 ට

අනෙකුත් රැස්වීම්:

යාපනය:

තරුන ක්‍රිස්තියානු සංගම් ශාලාව,
අගෝස්තු 20 අඟහරුවාදා, සවස 4

හැටන්:

හැටන් නගර සභා ශාලාව
අගෝස්තු 25 ඉරිදා සවස 2ට
පොත් ප්‍රදර්ශනය අගෝස්තු 25 උදේ 10 සිට.

මාතර:

නූපේ හන්දිය, සනස සමිති ශාලාව
සැප්තැම්බර් 01 ඉරිදා සවස 3.00 ට

මහනුවර:

මහනුවර මධ්‍යම වෙලඳපොලේ, සීමාසහිත ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිති ශාලාව
සැප්තැම්බර් 6 සිකුරාදා සවස 4.00 ට
හලාවත:
සී/ස හලාවත-පුත්තලම් දිස්ත්‍රික් සමූපකාර මන්ඩලය (මහජන බැංකුව අසල)
සැප්තැම්බර් 11 බදාදා සවස 4.00 ට

බන්ඩාරවෙල:

බන්ඩාරවෙල මහනගර සභාව
සැප්තැම්බර් 15 ඉරිදා සවස 2.00 ට

කොලඹ (අවසාන රැස්වීම)

මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී
සැප්තැම්බර් 18 සවස 4.00
Loading