ජවිපෙ/ජාජබ නායකයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පැනවීමට ප්‍රතිඥා දෙයි

[මෙය JVP/NPP leader in Sri Lanka pledges to impose IMF austerity යන මැයෙන් 2024 සැප්තැම්බර් 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සැප්තැම්බර් 4 වැනි දින ව්‍යාපාරික සංසදයේ රැස්වීමකදී, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජාජබ) ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, තමා බලයට පැමිනියහොත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව පවසමින් 'ජනතාව බිය ගැන්වීමට දරන උත්සාහය නවත්වනු'යි ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනතුරු ඇඟවූයේය.

ජාජබ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 4 වන දින ව්‍යාපාරික සංසදය අමතමින් [ඡායාරූපය: ජාජබ ෆේස්බුක්] [Photo: NPP Facebook]

ජනාධිපති අපේක්ෂකයෙකු වන වික්‍රමසිංහ, ජවිපෙ/ජාජබ නායකයා වත්මන් ආර්ථික වැඩපිලිවෙල නවතා දමනු ඇතැයි ආයෝජකයින් බියෙන් සිටින බව පවසමින්, කොලඹ කොටස් වෙලඳපොලේ මෑතකාලීන වැටීම සම්බන්ධයෙන් දිසානායකට දොස් පැවරීය. වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන රුදුරු කප්පාදු පියවර ක්‍රියාවට නැංවීමයි.

ව්‍යාපාරික සංසදය යනු ජාජබ විසින් සංවිධානය කරන ලද කුඩා ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන්ගේ කන්ඩායමකි. තම ආන්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයන බවත්, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් සියල්ල ආරක්ෂා කරන බවත් දිසානායක සිය දීර්ඝ කතාවේ දී සඳහන් කලේය.

මෑත මාසවලදී, ජවිපෙ/ජාජබ නායකයෝ මහජනයා අතර වෛරයට ලක් ව තිබෙන ජාමූඅ ක්‍රියාමාර්ගය ගැන 'යලි සාකච්ඡා කරන' බව ඇතැම් විට ප්‍රකාශ කරති. ඔවුන් මෙම ප්‍රකාශ සිදු කරන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහල දැමීම, විවිධ බදු වැඩිකිරීම් සහ මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීම නිසා ජීවන කොන්දේසි පතුලටම ඇදදමා ඇති කප්පාදු ලුෑඪපිලිවෙල කෙරෙහි දැඩි වෛරයෙන් සිටින කම්කරුවන් හා දුප්පතුන් රැවටීම සඳහා ය.

දිසානායක ව්‍යාපාරික සංසදය අමතා කල කතාව, ජවිපෙ/ජාජබ ජාමූඅ ඉල්ලීම්වලින් යම් තරමකින් හෝ ඉවතට යනු ඇතැයි සැකයක් පැවතියේ නම් එය මුලුමනින් ම දුරිභුත කර ඇත. දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් ලෙස විස්තර කිරීම විකාරයක් බව ඔහුගේ ප්‍රකාශ තුලින් තහවුරු වෙයි. මෙම පක්ෂය, ධනේශ්වර පන්තියේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහා තමා විශ්වාසදායක නිර්දය දේශපාලන ආයුධයක් බව ප්‍රදර්ශනය කිරීමට අධිෂ්ඨානවත්ව ක්‍රියා කරයි.

ජාජබ ආන්ඩුවක්, 'ආර්ථිකය අස්ථාවර කිරීමට කිසිවක් නොකරන' බවත්, ඒ වෙනුවට ආර්ථිකය ස්ථාවර කිරීම, ශක්තිමත් කිරීම සහ ඉදිරියට ගෙනයාම ඉලක්ක කරන බවත් දිසානායක පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ඉවත් වීමේ ඕනෑම උත්සාහයක් ඔහු තරයේ ප්‍රතික්ෂේප කලේ, එය 'ජනතාවගේ යහපතට' හේතු නොවන බව පවසමිනි; 'අප එවැනි පියවරක් නොගන්නා බවට සහතික වන' බව ඔහු පැවසීය.

2025 සිට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක අයවැය අතිරික්තයක් පෙන්වීම සහ 2032 වන විට රාජ්‍ය නය-දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතය සියයට 98 ට වඩා අඩු කිරීම පිලිබඳ ජාමූඅ ඉලක්ක දිසානායක පිලිගත්තේ, එය සාක්ෂාත් කර ගැනීම සඳහා 'ලබා දී ඇති පරාමිතීන්' සම්බන්ධයෙන් තම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව පවසමිනි.

2024 සැ ප්තැ ම්බර් 4 වැ නි දින කො ලඹ ව්යා පා රික සං සදයට සහභා ගී වූවන්ගෙ න් කො ටසක් [ඡා යා රූ ප: ෆේ ස්බුක්/nppsrilanka] [Photo: Facebook/nppsrilanka]

ජවිපෙ/ජාජබ, ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන් පමනක් නොව, ජාමූඅ සහ එය විසින් නියෝජනය කරන ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ද සිය සහතිකවීම පිරිනමා ඇත. ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල අනුව ලබාදිය නොහැකි බව පෙනී තිබිය දී, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන තරඟකාරී පොරොන්දු දීම සම්බන්ධයෙන් දිසානායක, වික්‍රමසිංහට සහ විපක්ෂ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාසට දකුනෙන් පහර දුන්නේය.

“ජාතික ආරක්ෂාව” වෙනුවෙන් අවශ්‍ය වන බලශක්තිය වැනි ප්‍රධාන අංශ හැරුනුවිට පෞද්ගලීකරනය දිගටම ගෙනයන බවට දිසානායක ප්‍රතිඥා දුන්නේය. ජවිපෙ/ජාජබ, පුද්ගලික අංශය “අපේ ආර්ථිකයේ ප්‍රධාන එන්ජිම” ලෙස සලකන බව ඔහු සිය ව්‍යාපාරික ප්‍රේක්ෂකයන්ට සහතික කර කියා සිටියේ. එය දූෂනය, අල්ලස් සහ යල් පැන ගිය නීති මගින් 'අගුලු දමා' ඇත. “අපි ඒවා ඉවත් කරනවා. ඔබ ව්‍යවසායන් කරගෙන යනවා; අපි ඒවාට පහසුකම් සපයනවා,” ඔහු පැවසීය.

රැස්ව සිටි පිරිසේ අත්පොලසන් මැද ජාජබ ජනාධිපති අපේක්ෂකයා මෙසේ ප්‍රකාශ කලේය: “ඔබගේ උවමනාව අපගේ උවමනාවයි. පලමු වතාවට ඔබ අප එකට සමපාත වෙනවා.”

1951 දී දකුනු කොරියාව ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි නමුත් දැන් එය ශ්‍රී ලංකාවට සාපේක්ෂව 50 ගුනයකින් වර්ධනය වී ඇති බවත්, ඔහු ශ්‍රී ලංකා ආර්ථිකයේ තත්ත්වය ගැන කනගාටු වන බවත් පැවසීය. වසර 44 ක් තුල ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ලැබී ඇත්තේ ඩොලර් බිලියන 22ක් නමුත්, වියට්නාමයට පසුගිය වසරේ පමනක් ඩොලර් බිලියන 43 ක් ලබා ගත්තේය. ජවිපෙ/ජාජබ ආන්ඩුව ලංකාව එම මට්ටමට ගෙන එන බව ඔහු ප්‍රකාශ කලේය.

ජවිපෙ/ජාජබ කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ සියලුම ආර්ථික ගැටලු වංචා සහ දූෂනවල ප්‍රතිවිපාක බවයි. “දූෂිත දේශපාලන සංස්කෘතිය” අවසන් කිරීමෙන් නිෂ්පාදනය මත පදනම් වූ “ආර්ථික පුනර්ජීවනයක්” ඇතිකොට රට හොඳ පදනමක් මත තැබිය හැකිය. එහි මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශය මායාකාරී ලෙස මෙසේ ප්‍රකාශ කරයි: “පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!”

2022 දී ශ්‍රී ලංකාව ගිලගත්, නය පැහැර හැරීමට බල කෙරුනු දැවැන්ත ගෝලීය ආර්ථික අර්බුදය ගැන එහි කිසිදු සඳහනක් නැත. දිසානායක හෝ මොන ධනපති අපේක්ෂකයෙකු බලයට පත් වුවත් වැඩ කරන ජනතාවට ආර්ථික පාරාදීසයක් බිහි නොවේ. කම්කරුවන් හා දුප්පතුන් මත නව ආර්ථික බර පැටවීමටත්, සෑම ආකාරයකම විරුද්ධත්වයන් මර්දනය කිරීමටත් ජවිපෙ/ජාජබ ආන්ඩුවක් රුදුරු ලෙස ක්‍රියා කරනු ඇත. .

ජවිපෙ/ජාජබ කම්කරු පන්ති අරගල මර්දනය කරන බවට දැනටමත් සංඥා කර ඇත. එහි ප්‍රමුඛයෙකු වන කේ.ඩී. ලාල් කාන්ත ජුලි 11 දා මෙසේ ප්‍රකාශ කලේය: “අපිට ජනතාව සමඟ ගැටෙන නිසා වැඩ වර්ජන කරන්න බැහැ,. ජනාධිපතිවරනයේදී අලුත් මොඩලයක ආන්ඩුවක් පත්කර ගැනීමට අපට අවස්ථාවක් තිබෙනවා. වැඩ වර්ජන කරන එක මේ උත්සාහයට හානිකරයි.”

තවත් නායකයෙකු වන නලින්ද ජයතිස්ස ජූලි 19 දා පැවති සාකච්ඡාවකදී පන්ති සහයෝගීතාවය තම ආන්ඩුවක මුර පදය වනු ඇති බව පැහැදිලි කලේ මෙසේ ය: 'ජාජබ/ජවිපෙ ආන්ඩුවක් පිහිටුවීමෙන් පසු පක්ෂය සහ ආන්ඩුව එකක් බවට පත්වෙනවා; ඒ වගේම වෘත්තීය සමිති සහ කලමනාකාරීත්වයන් එකට වැඩ කරනු ඇති.'

2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමේදී ධනේශ්වර පාලනය රැකීමට සඳහා පාර්ලිමේන්තු මාවත් දෙසට හරවා යැවීමේදී ජවිපෙ/ජාජබ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදිවල රොක් වෙමින් සිටියදී, අප්‍රේල් 7 දා පාර්ලිමේන්තුවේදී කථා කරමින් දිසානායක ප්‍රකාශ කලේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන්නේ නම් අන්තර්වාර ආන්ඩුවක් සඳහා වන ඕනෑම යෝජනාවක් සලකා බැලීමට තම පක්ෂය සූදානම් බවය.

ඔහු දැන් වික්‍රමසිංහට තඩිබාන නමුත්, දිසානායක සහ ජවිපෙ/ජාජබ, වෘත්තීය සමිතිවල සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිටුබලය ඇතිව, “අන්තර්වාර ආන්ඩුවක්” යන සටන් පාඨය ප්‍රවර්ධනය කිරීම සඳහා සජබ සමග අත්වැල් බැඳ ගත්හ. එය, රාජපක්ෂ අවසානයේ රටින් පලා ගිය විට, තරයේම අපකීර්තිමත්, එක්සත් ජනපද ගැති සහ ජාමූඅ හිතවාදී වික්‍රමසිංහ ජනාධිපති ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව ස්ථාපනය කිරීමට මග පෑදීය.

පසුගිය දෙවසර පුරා, ජවිපෙ/ජාජබ, ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත්වලට එරෙහි මහජන විරෝධය සීමිත, නිෂ්ඵල වැඩ වර්ජනවලටත්, සහන ලබා දෙන ලෙස පාලන තන්ත්‍රයට බලපෑම් කිරීමටත් හරවා යවමින් වික්‍රමසිංහ තනතුරේ රැඳී සිටීම සහතික කර තිබේ.

තමන් මුහුන දෙන දැවැන්ත අන්තරායන්ට සහ සියලුම ධනේශ්වර පක්ෂවලට එරෙහිව සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය ගැන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂක පානි විජේසිරිවර්ධන කම්කරු පන්තියට අවධාරනය කර සිටියි. ගැඹුරු ජාත්‍යන්තර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කම්කරුවන්ට සහ දුප්පතුන්ට ධනේශ්වර ක්‍රමය තුල හෝ ජාතික ව ලබාගත හැකි විසඳුමක් නැත.

සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව සෑම වැඩපලකම කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප ඉල්ලා සිටී. එමෙන්ම අප ග්‍රාමීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තම ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසත් කම්කරු පන්තිය සමඟ අරගලයට පෙලගැසෙන ලෙසත්‍ ය.

අපගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එක්සත් වෙමින්, ධනේශ්වර පන්තියේ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරයට එරෙහි සටන් කිරීම ගැන සාකච්ඡා කිරීමට, තීරන ගැනීමට සහ බලමුලු ගැන්වීමට මෙම ක්‍රියාකාරී කමිටු නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට අපි යෝජනා කරමු.

සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙසත්, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටින සසප, සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කරයි. මෙම අරගලය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට මග විවර කරනු ඇත.

Loading