වික්‍රමසිංහ ආන්ඩුව පුද්ගලීකරනයට එරෙහි ශිෂ්‍ය විරෝධතාවයට රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල කරයි

අධ්‍යාපනයේ පුද්ගලීකරනය ඇතුලුව නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස ඉල්ලා පසුගිය අඟහරුවාදා කොලඹ දී පැවති විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ විරෝධතාවයට, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල කලේය. එහිදී, විරෝධතාව සංවිධානය කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනුනු අතර, ප්‍රහාරයට එරෙහිව මහජනතාව අතර විරුද්ධත්වය වැඩෙන තතු තුල ඊයේ ඔවුන්ව ඇප මත මුදා හැරිනි.

අඟහරුවාදා කොලඹ දී පැවති විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ විරෝධතාවය

“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති” ප්‍රෝඩාව හකුලා ගනු!, නිදහස් අධ්‍යාපනය - නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල ඇතුලු වෛද්‍ය උපාධි කඩ වහා අහෝසි කරනු!, ජනතාවනි, අධ්‍යාපනය විකිනීම ප්‍රතිපත්තිය කරගත් අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කරමු!,හිඟ මහපොල - ශිෂ්‍යාධාර ලබා දියව්, මහපොල වාරිකය රු10000 කරනු, ආචාර්ය හිඟය වහා විසඳනු! ආදී ඉල්ලීම් මත කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය පැවැත්විනි. විරෝධතාවයට ලංකාව පුරා විවිධ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සිසුන් සහභාගී වූහ.

අන ලැබුනු සැනින් විරෝධතාවට පහරදීම සඳහා පොලීසිය, කොටුව ප්‍රදේශයේ ජල ප්‍රහාරක රථ සහ තම බල ඇනි ස්‍ථානගතකර තිබිනි. විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂනයෙන් අනතුරුව පාගමනකින් ඉදිරියට යාමට උත්සාහ දැරූ අවස්ථාවේ පොලීසිය එයට බාධා පමුනුවමින් විසිර නොගියහොත් අත් අඩංගුවට ගන්නා බව නිවේදනය කලේය. ඒ අතර කොලඹ දිස්ත්‍රික් මැතිවරන ආරවුල් නිරාකරන මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැමින, විරෝධතාවය මැතිවරන නීතී උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කලේය.

මීට පෙරද මැතිවරන නීති කඩතුරාව යටතේ විරෝධතා මැඩලීම සම්බන්ධයෙන් ලංකාවේ පොලීසියට සහ ධනපති ආන්ඩුවලට කුප්‍රකට ඉතිහාසයක් පවතී. 2019 ජනාධිපතිවරනය අවස්ථාවේදීද ශිෂ්‍යයින්ගේ විරෝධතාවයකට රුදුරු ලෙස පහර දෙමින් 53 දෙනෙකු අත් අඩංගුවට ගත්තේය.

අන ලැබුනු සැනින් විරෝධතාවට පහරදීම සඳහා පොලීසිය, කොටුව ප්‍රදේශයේ ජල ප්‍රහාරක රථ සහ තම බල ඇනි ස්‍ථානගතකර තිබිනි.

පොලීසියේ සහ මැතිවරන නිලධාරියාගේ බාධාවන් නොතකමින් සිසුන් පාගමනින් ඉදිරියට යාමට තැත් කිරීමත් සමග ප්‍රහාරය ආරම්භ කල පොලිස් භටයෝ, සිසුන් පිටුපස හඹාගොස් ඔවුන්ට පහර දුන්හ. අවිශිබම කැඳවුම්කරු සහ අනෙක් ක්‍රියාකාරීන් ද, සිසුන් රැගෙන ආ විරෝධතා පුවරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනි.

මෙම ප්‍රහාරය පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු නියෝග වලට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් රුදුරු ආකාරයෙන් මැඩලීමට පාලක පන්තියේ ඇති සූදානමයි.

නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව අඛන්ඩව වැඩෙමින් පවතින ශිෂ්‍ය විරෝධතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරු පන්තිය සහ අවශේෂ පීඩිත කොටස් තුල තියුනු වෙමින් පවතින පලල් විරුද්ධත්වයේ ප්‍රකාශනයකි. අනුප්‍රාප්තික ආන්ඩු පසුගිය දශක ගනනාව තිස්සේ ගෙන ගිය කප්පාදු පිලිවෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩපන කොට ඇත. ආචාර්යවරුන්ගේ හිඟය සහ යටිතල පහසුකම් හිඟයෙන් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම අර්බුදයට ගොස් ඇත.

එමෙන්ම ශිෂ්‍යයින්ට ලබා දෙන සොච්චම් මහපොල සහනාධාරය පවා ක්‍රමානුකූලව නොලැබේ. පහුගිය වසර කිහිපය තිස්සේ වේගයෙන් ඉහල ගිය ජීවන වියදම හමුවේ සිසුන්ට තම වියදම් පිරිමසාගනුවස් ආහාර වේල් මග හැරීමට සහ අර්ධ-කාලීන රැකියා සඳහා යෑමට බලකෙරී ඇත. මෙම තත්වය වඩාත් ගැඹුරු කරමින් ආන්ඩුව අධ්‍යාපනය පුද්ගලීකරනය සහ වානිජකරනය කිරීම සඳහා නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇතුලු පියවරයන් පෙරට ගෙන ඇත. ආන්ඩුවේ පොලිස් ප්‍රහාර සහ මර්දනය නොතකා ශිෂ්‍යයන් අරගලයට ඇදී එන්නේ මෙම ඉහිලිය නොහැකි කොන්දේසි යටතේය.

ජනාධිපති වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුලු ප්‍රධාන ධනපති අපේක්ෂකයන්, මහජන අධ්‍යාපනය නගා සිටුවන බවට, මහපොල ශිෂ්‍යාධාරය වැඩි කරන බවට ආදී වසයෙන් මැතිවරන පොරොන්දු තරගයක යෙදී සිටිති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කරන බවට සපථ ව සිටින ඔවුන්ගෙන් කවරෙකු බලයට පත් වූවද එම පොරොන්දු වලට වහා පයින්ගසා එම කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමනු ඇත. ඔවුන් සියලු දෙනාම සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුල අධ්‍යාපනය පුද්ගලීකරනය කරන බව සෘජුවම සඳහන් කොට ඇත.

මෙම තතු තුල අරගලයට ඇදෙමින් සිටින ශිෂ්‍යයන්ට මතුවන මුලිකම ප්‍රශ්නය වන්නේ තමන් මත එල්ල කෙරෙන ප්‍රහාර නතර කරන්නේ කෙසේද යන්නයි.

අවිශිබම විසින් පෙරට දමන ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ පිලිවෙතින් ශිෂ්‍යයින් මුහුන දෙන ගැටලු වලට විසඳුම් ලබාගත නොහැක. මැතිවරන කාල පරිච්ඡේදයකදී පවා ධනපති ආන්ඩු මහජනතාවගේ ඉල්ලීම් සහ විරෝධතා වලට ප්‍රතිචාර දක්වන මෙම රුදුරු ස්වභාවය එය සනාථ කරයි.

මෙම පොලිස් ප්‍රහාරයට එරෙහිව අවිශිබම බදාදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කලේ තමන් මැතිවරන කොමිසමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බවයි. ආන්ඩුවලට බලපෑම් දැමීමේ “ශිෂ්‍ය දේශපාලනය” උත්කර්ෂයට නංවමින් අවිශිබම ක්‍රියාකාරිකයෙකු වන අබ්දුල්ලා රිෆාත් ජනාධිපති අපේක්ෂකයන්ට කීවේ “අධ්‍යාපනය පුද්ගලීකරනයට සූදානම් වනවා නම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය” මතක් කර දෙන බවයි.

අවිශිබමයේ සැබෑ ඉතිහාසය කියාපාන්නේ, ඔවුන් සංවිධානය කල ශිෂ්‍ය විරෝධතා තිබියදීත්, පසුගිය දශක කිහිපය තුල පුද්ගලීකරනය ඇතුලු අධ්‍යාපනයේ කප්පාදුව වේගයෙන් ක්‍රියාත්මක වී ඇති බවයි. පුද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන්නා මෙන් විවෘත කොට ඇත. දල දේශීය නිශ්පාදිතයෙන් නිදහස් අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිශතය ක්‍රමයෙන් කපා දමා ඇත. අවිශිබමයේ සැබෑ ඉතිහාසය වනුයේ, ශිෂ්‍යයින් ධනපති ක්‍රමය තුල කොටු කිරීමට විවිධාකාර අධිකරනමය වට වංගුවල යැවීම සහ නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ ශක්‍යතාව සහිත එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය දෙසට සිසුන් යොමුවීම වලකාලීමයි.

මහජන අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාර ඇතුලුව කප්පාදුව සහ පුද්ගලීකරනය ගලා එන්නේ ධනපති ක්‍රමය මුහුන දී සිටින ලෝක පරිමාන අර්බුදයෙනි. සෑම රටකම ආන්ඩුවල පිලිවෙත වී ඇත්තේ මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරක්ෂිත කිරීම නොව ඒවා අතුගාදමමින් එම අර්බුදයේ බර මුලුමනින්ම මහජනතාව මත පැටවීමයි. ඒ සඳහා ලෝකය පුරා පාලක පන්තීන් කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩීම සඳහා ආඥාදායක පාලන රූපවලට මාරු වෙමින් සිටී. ලංකාවේ ජනාධිපතිවරන උද්ඝෝෂනය පුරා විවිධ ධනපති පක්ෂ “ස්ථාවර සහ “ශක්තිමත්” ආන්ඩුවක අවශ්‍යතාවය පිලිබඳව කෑමොර දෙන්නේ එබැවිනි.

කප්පාදුව සහ පොලිස් මර්දනය පරාජය කල හැක්කේ, ඒවායේ මූලය වන ධනපති ක්‍රමය පෙරලා දැමීමේ දේශපාලනික අරගලයකින්, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයකින් පමනි. එමෙන්ම එයට නායකත්වය දිය හැක්කේ ධනපති සමාජයේ විප්ලවවාදී බලවේගය වන කම්කරු පංතියට පමනි. ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත සටන් වදින, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන හා ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සටන් වදින්නේ එබැවිනි.

එම ව්‍යාපාරය ගොඩනගනුවස් සසප සහ සසසජාතශි සමග එක්වන ලෙසත්, මෙවර ජනාධිපතිවරනයේදී ඉහත වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් තරග වදින සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය ලබා දී එම වැඩපිලිවෙල අනුමත කරන ලෙසත් සසප/සසජාතශි, ශිෂ්‍යයන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

Loading