නිසංසල දූපතක සිට වියවුල් ලෝකයක් විශ්ලේෂනය කිරීම

[මෙය Analyzing a World in Chaos from an Island of Tranquility යන මැයෙන් 2024 අගෝස්තු 26 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින්, අගෝස්තු 25 ඉරිදා තුර්කියේ බියුකාඩා (ප්‍රින්කිපෝ) දූපතේ දී මෙම කථාව පවත්වන ලදී. මෙම රැස්වීම පවත්වන ලද්දේ, “නිසංසල දිවයිනක සිට වියවුල් ලෝකයක් විශ්ලේෂනය කිරීම” යන මාතෘකාව යටතේ ය. මෙය, 1929 සහ 1933 අතර සෝවියට් සංගමයෙන් පිටුවහල් කල පලමු කාල පරිච්ඡේදය තුල ලියොන් ට්‍රොට්ස්කිගේ බියුකාඩා හි දී සිදුකල වැඩ කටයුතු පිලිබඳව දෙවන ජාත්‍යන්තර අනුස්මරනය විය.

නෝර්ත්ට කතා කිරීමට ආරාධනා කලේ බියුකාඩා හි නගරාධිපති අලි ඉර්කන් ඇක්පොලට් විසිනි; ඔහු සමඟ කථික මන්ඩලයේ, ගලතසරයි විශ්වවිද්‍යාලයේ ආචාර්ය රිඩ්වන් අකේන් ද සිටියේ ය. තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන උලාස් අටෙසි විසින් මෙම උත්සවය මෙහෙයවන ලදී. 160 දෙනෙකු එම අවස්ථාවට සහභාගී විය; බොහෝ දෙනෙක් පොත්පත් මිලදී ගත් අතර පසුව පැවති ප්‍රශ්නෝත්තර සැසිය සඳහා ද රැඳී සිටියහ.

ප්‍රථමයෙන් ම, මෙම ලියොන් ට්‍රොට්ස්කි අනුස්මරනය කිරීමේ දෙවන ජාත්‍යන්තර උත්සවය සංවිධානය කිරීම සහ එහි කථා කිරීමට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් නගරාධිපති අලි අර්කන් අක්පොලට් සහ ඔහුගේ පරිපාලනයට ස්තූති කිරීමට අවසර දෙන්න. මෙම සැමරුම වාර්ෂික බුද්ධිමය සිදුවීමක් ලෙස ස්ථාපිත කිරීම ඓතිහාසික මෙන්ම අතිමහත් සමකාලීන අර්ථභාරයක් ද දරයි.

බියුකාඩා නගරාධිපති අලි ඉර්කන් ඇක්පොලට් (වමේ), ඩේවිඩ් නොර්ත් (දකුනේ) සහ උලාස් අටෙසි සමඟ කතා කරයි.

ට්‍රොට්ස්කි බියුකාඩා හි ගත කල වසර හතර, ඔහුගේ ජීවිතයේ මෙන්ම විසිවන සියවසේ ඉතිහාසයේ වඩාත් ම සංවිපාකදායි කාලයක් විය. 1929, ඔහු මෙහි පැමිනි වසර, වෝල් වීදියේ කඩාවැටුනු වසර වූ අතර ලෝක අවපාතයේ ආරම්භය විය. 1933 යනු, ඓතිහාසික ව්‍යසනයක් වූ හිට්ලර්ගේ නාසි පාලනය බලයට පත් වූ වසර වන අතර එය දෙවන ලෝක සංග්‍රාමය, හොලෝකෝස්ටය (සමූලඝාතනය) සහ හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමානු බෝම්බ හෙලීමට තුඩුදුන්නේය. 1930 ගනන්වල ජර්මානු හා යුරෝපීය කම්කරු පන්තියේ පරාජය නිසා මානව වර්ගයා තවමත් වන්දි ගෙවමින් සිටිති.

1938 දී ට්‍රොට්ස්කි ඓතිහාසික යුගය නිර්වචනය කලේ ධනවාදයේ මර ලතෝනි යුගය ලෙස ය. ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ සහ ඇත්ත වශයෙන්ම ජර්මනියේ ම ස්ටැලින්වාදී පාවාදීම්වල ප්‍රතිවිපාකයක් ලෙස, 1930 ගනන්වල සමාජවාදී විප්ලවයේ පරාජයේ ප්‍රතිවිපාකයක් ලෙස, මර ලතෝනිය දිග්ගැස්සුනි. එහෙත් වත්මන් සිදුවීම් ට්‍රොට්ස්කිගේ ඓතිහාසික පුරෝකථනය වලංගුභාවයට පත් කරයි. හිට්ලර්ගේ තුන්වන රයිකය බිඳවැටීමෙන් හා දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් වසර 80 කට ආසන්න කාලයකට පසුව, අපි ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය, රාජ්‍ය ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස ජන සංහාරය භාවිතා කිරීම සහ න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කරා මිලිටරි ගැටුම් උත්සන්න වීම අත්දකිමින් සිටිමු.

ම්ලේච්ඡත්වය කරා පල්ලම් බැසීම සහ ශිෂ්ටාචාරයේ ස්වයං-සමූලෝත්පාටනය වැලැක්වීමට නම්, අප අතීතය අධ්‍යයනය කර එයින් උචිත පාඩම් උකහා ගත යුතුය.

විසිවන සියවසේ කේන්ද්‍රීය ඛේදවාචකයේ—ජර්මනියේ ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනයේ—සන්දර්භය තුල ට්‍රොට්ස්කි මෙම දිවයිනේ ගතකල වසර කිහිපය එවන් අතිමහත් ඓතිහාසික වැදගත්කමක් අත්පත් කර ගනී. ට්‍රොට්ස්කි ඔහුගේ ප්‍රින්කිපෝ පිටුවාහල් කාලය තුල ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘති දෙකක් ලිවූ බව චිරප්‍රකට ය: ඒවා නම්, ඔහුගේ ස්වයං-ලිඛිත චරිතාපදානය වන මගේ ජීවිතය සහ අනුස්මරනීය කෘතියක් වන රුසියානු විප්ලවයේ ඉතිහාසය යි.

එහෙත් ට්‍රොට්ස්කි බියුකාඩාවේ සිටි කාලයේ ලද ශ්‍රේෂ්ටතම කාර්යසාධනය වූයේ, ජර්මනියේ දිග හැරෙමින් පවතින දේශපාලන අර්බුදය පිලිබඳ ඔහුගේ විශ්ලේෂනය, නාසිවාදය විසින් මතු කරන ලද අන්තරාය පිලිබඳව ජර්මානු කම්කරු පන්තියට අනතුරු ඇඟවීමට ඔහු ගත් උත්සාහය සහ ස්ටැලින්ගේ නියෝගය යටතේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය විසින් අනුගමනය කරන ලද විනාශකාරී පිලිවෙත් හෙලිදරව් කිරීමයි. බර්ලිනයේ සිට කිලෝමීටර් 1,600 ක් ඈතින් පිහිටි දූපතකට කොටු වී සිටි ට්‍රොට්ස්කි, ස්ටැලින්ගේ ප්‍රතිපත්තිවල අනිවාර්ය ප්‍රතිවිපාක සහ නාසීන්ගේ ජයග්‍රහනය වැලැක්වීමට කල යුතු දේ යන දෙකම අසමසම පූර්වඥානයකින් යුතුව වටහා ගත්තේය.

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හි ඔහුගේ මේසයේ

හිට්ලර්ගේ ජයග්‍රහනයට වසර දෙකකට පෙර, 1930 සැප්තැම්බර් තරම් ඈතදී ම ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

ධනේශ්වර තන්ත්‍රයේ අසරනභාවය, මෙම පාලන තන්ත්‍රය තුල සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ගතානුගතික භූමිකාව සහ එය අහෝසි කිරීමට කොමියුනිස්ට් පක්ෂයට පැවති ගොනුගැසුනු දුබලතාවයේ උග්‍ර ප්‍රකාශනයක් වන ජර්මනියේ ෆැසිස්ට්වාදය සැබෑ අන්තරායක් බවට පත්ව ඇත. මෙය ප්‍රතික්ෂේප කරන තැනැත්තා එක්කෝ අන්ධයෙකි; නැතිනම් පුරාජේරුකාරයෙකි.

යුරෝපයේ විශාලතම, බලවත් ම සහ දේශපාලනිකව දියුනු ම කම්කරු පන්තිය ජර්මනිය සතු විය. එය මාක්ස් සහ එංගල්ස්ගේ ජන්මභූමිය වූ අතර, මාක්ස්වාදයේ බලපෑම යටතේ, කාර්මික සංවර්ධනය විසින් මහජන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) බිහි කර තිබූ රට විය. එහෙත්, එස්පීඩීය සහ සැබවින් ම දෙවන ජාත්‍යන්තරයට සම්බන්ධිත සියලු පක්ෂ, 1914 අගෝස්තුවේ දී ඔවුන්ගේ ධනේශ්වර ආන්ඩු පලමු ලෝක යුද්ධයට ඇතුලු වීමට සහාය දෙමින් ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය පාවා දුන්හ.

1917 ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිතිව, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ තුන්වන ජාත්‍යන්තරය පිහිටුවීම, සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ විප්ලවවාදී පක්ෂ යලි ගොඩ නැගීම ඉලක්ක කර ගත්තේය. ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී), නව ජාත්‍යන්තරයේ, සෝවියට් සංගමයෙන් පිටත පිහිටි විශාලතම ශාඛාව ලෙස මතු විය. එහෙත් දේශපාලන නායකත්වයේ අර්බුදයක් හේතුවෙන් එහි වර්ධනය අඩාල විය. 1919 ජනවාරියේ, කේපීඩීය පිහිටුවා සති දෙකකට පසුව රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් ඝාතනය කිරීම, පක්ෂයට එහි වඩාත්ම පලපුරුදු නායකයින් අහිමි කලේය. සෝවියට් සංගමය තුල ස්ටැලින්ගේ නායකත්වයෙන් යුත් නිලධරයේ වර්ධනයත්, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කිරීමත්, “තනි රටක සමාජවාදය” නමැති ජාතිකවාදී වැඩපිලිවෙල සම්මත කර ගැනීමත් මගින් නායකත්වය පිලිබඳ ගැටලුව තීව්‍ර විය.

රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුල වාම විපාර්ෂවයේ නායක ට්‍රොට්ස්කි, නව කොමියුනිස්ට් පක්ෂ අවමංගත කර, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ශාඛා සෝවියට් නිලධරයේ ජාතික අවශ්‍යතාවලට යටත් කිරීමට තුඩු දුන් මාක්ස්වාදී වැඩපිලිවෙලෙහි මෙම අති මූලික ජාතිකවාදී සංශෝධනයට විරුද්ධ විය.

මෙම අවමංගතවිමේ වඩාත්ම විනාශකාරී ප්‍රකාශනය දක්නට ලැබුනේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති තුල ය. ෆැසිස්ට්වාදයේ නැගීමට මුහුන දී සිටි කේපීඩීයේ අත්‍යවශ්‍ය කර්තව්‍යය වූයේ කම්කරු පන්තියේ සියලු බලවේග පොදු ආරක්ෂක අරගලයක් තුල එක්සත් කිරීමයි. කම්කරු පන්තියේ පක්ෂපාතීත්වය එස්පීඩී සහ කේපීඩී යන පක්ෂ දෙකක් අතර බෙදී ගිය කොන්දේසි යටතේ, තවමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නායකත්වය අනුගමනය කරන මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට කොමියුනිස්ට් පක්ෂය බැඳී සිටියේය.

එස්පීඩීයේ ප්‍රතිසංස්කරනවාදී ස්වභාවය සහ සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙලට එහි උග්‍ර සතුරුකම නොතකා, ෆැසිස්ට්වාදයේ නැගීම, එහි පැවැත්මටමත් තර්ජනයක් විය. එබැවින් ප්‍රතිසංස්කරනවාදී කම්කරු සංවිධානයක් ලෙස එස්පීඩී සහ නාසීන් අතර පැවති වෛෂයික ගැටුමේ වාසිය ඩෑහැගැනීමට කේපීඩීය බැඳී සිටින බව ට්‍රොට්ස්කි අවධාරනය කලේය. එහෙත්, සංවිධානාත්මක ආත්මාරක්ෂාව සඳහා එහි බලපෑම පවා නොතකා, මෙම ගැටුමේ පැවැත්ම ප්‍රතික්ෂේප කල ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමග සියලු සහයෝගීතාව ප්‍රතික්ෂේප කලහ.

ට්‍රොට්ස්කි ස්ටැලින්වාදීන්ගේ අති-වාම පිලිවෙත, ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය “සමාජ ෆැසිස්ට්වාදී” ලෙස, එනම්, නාසීන්ගේ දේශපාලන නිවුන් පක්ෂය ලෙස නිර්වචනය කිරීම තියුනු විවේචනයට බඳුන් කලේය. ස්වයං-විනාශකාරී වූ, “සමාජ ෆැසිස්ට්වාදය” නමින් ගෙනගිය ප්‍රතිපත්තිය අත්හරින ලෙසත්, නාසීන්ට එරෙහිව “එක්සත් පෙරමුනක්” සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කැඳවුමක් කරන ලෙසත් ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් ඉල්ලා සිටියේය. ජර්මනියේ මිලියන ගනනක් කම්කරුවන්ගේ පක්ෂපාතිත්වය දරන කම්කරු පන්තියේ බහුජන පක්ෂ දෙක අතර ගිවිසුමක්, නාසීන්ට එරෙහිව ඒකාබද්ධ ආරක්ෂක ක්‍රියාමාර්ග සඳහා එක්සත් ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඔහුගේ කැඳවීම, හිට්ලර් බලයට යන මාවතේ ගමන් කල නොහැකි මාර්ග බාධකයක් නිර්මානය කරනු ඇතැයි ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. එපමනක් නොව, එය ජර්මානු ධනේශ්වර තන්ත්‍රයට සහ එහි නාසින්ගේ ආවතේවකාරයින්ට එරෙහිව ප්‍රහාරයක් කරා යාමට කම්කරු පන්තියට මාර්ගය පැහැදිලි කරනු ඇත.

1931 දෙසැම්බරයේදී, “ෆැසිස්ට්වාදයට එරෙහි එක්සත් කම්කරු පෙරමුනක් සඳහා” යන මාතෘකාවෙන් යුත් ලිපියක් තුලින් ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවීය: “ජර්මනිය දැන්, ජර්මානු ජනතාවගේ ඉරනම, යුරෝපයේ ඉරනම සහ බොහෝ දුරට මුලු මනුෂ්‍ය වර්ගයාගේම ඉරනම දශක ගනනාවකට රඳා පවතිනු ඇති වැදගත් ඓතිහාසික මොහොතක් පසු කරමින් සිටී.”

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ෆැසිස්ට්වාදී යයි ස්ටැලින්වාදීන් විසින් මුග්ධ හා සාහසික ලෙස නිර්වචනය කරනු ලැබීම, හිට්ලර්ගේ සැබෑ ෆැසිස්ට්වාදය විසින් එල්ල කරන ලද අන්තරාය දැඩි ලෙස අවතක්සේරු කිරීමේ බලපෑමක් ඇති කලේය. කිසිදු සමකාලීනයෙකුට අසමාන වූ පැහැදිලි බවක් සහිතව, ට්‍රොට්ස්කි පාලක පන්තියේ ප්‍රති-විප්ලවවාදී අවි ගබඩාව තුල ෆැසිස්ට්වාදයේ නිශ්චිත දේශපාලන භූමිකාව පැහැදිලි කලේය. 1932 ජනවාරියේ ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ “ඉක්බිති කුමක් ද?” යන ලිපියේ ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

පාර්ලිමේන්තු කඩතුරාව සහිතව, “සාමාන්‍ය” පොලීසි හා මිලිටරි ශක්තිය යෙදීම මගින්, ධනපති ඒකාධිපතිත්වයට සමාජයේ සමබරතාව තවදුරටත් රැකගත නොහැකි වූ තැනදී ෆැසිස්ට් තන්ත්‍රයේ වාරය එලඹෙයි. ෆැසිස්ට් ඒජන්සිය මගින්, උමතු සුලු ධනපති කොටස් හා නිපන්තික වූ කලකිරීමට පත් ලුම්පිතයන්, මූල්‍ය ප්‍රාග්ධනය විසින්ම මං මුලාවට හා කෝපාවිශ්ටභාවයට පත් කරන ලැබූ අසංඛ්‍ය මනුෂ්‍ය සමූහයන් ධනවාදය සිය සේවයට කැඳවන්නේ ය. ධනවාදය, ෆැසිස්ට්වාදය කෙරෙන් දැඩි සේවාවක් අපේක්ෂා කරයි; සිවිල් යුද්ධයේ විධික්‍රමයට පිලිපන් පසු, ඒ මගින්, වසර ගනනාවකට සාමය ලබාදීම එහි ආඥාව වෙයි. ෆැසිස්ට් ඒජන්සිය තමන් සතු සුලු ධනේශ්වර බල ඇනි යොදා ගනිමින්, තම ගමන් මගෙහි සියලු බාධක ඉවත හෙලමින්, දැඩි සේවාවක් සම්පාදනය කර දෙයි. ෆැසිස්ට්වාදය ජයග්‍රහනය කල තන්හිදී, රාජ්‍යයේ සියලු ස්වෛරීත්වයයේ සංස්ථා; විධායකයේ, පරිපාලනයේ හා රාජ්‍යයේ අධ්‍යාපනික බලතල, මූල්‍ය ප්‍රාග්ධනය විසින්, වානේ දැලකින් මෙන් තම ග්‍රහනයට ගනු ලැබේ: රාජ්‍යයේ සමස්ත තත්න්‍රයම, එහි හමුදාව, නගරසභා, විශ්වවිද්‍යාල, පාසැල්, මුද්‍රනාල හා ජනමාධ්‍ය, වෘත්තීය සමිති සහ සමුපකාර යන මේ සියල්ල, තම අතට ගොනු කර ගනු ලැබේ. රාජ්‍යයක් ෆැසිස්ට් පාලනය යටතට පත්වීම යනුවෙන් අදහස් වන්නේ, හුදෙක් මුසෝලිනීගේ මෝස්තරයට අනුව සිදු කෙරෙන වෙනස්කම්වලට, ආන්ඩු ස්වභාවයේ විධි හා රූපාකාරයේ වෙනස්කම් වලට (එම ක්ෂේත්‍රයේ වෙනස්කම් ඉටු කරන්නේ සුලු කොටසක් පමනි) සීමාවනු ඇත යන්නක් නොවේ. ඒ වෙනුවට එහි අර්ථය වන්නේ, ප්‍රථමව, අන් සියල්ලට වඩා ප්‍රමුඛවත්, කම්කරු සංවිධානවල සමූලෝත්පාඨනය කිරීමකි; කම්කරුවන් විසිරුනු තත්වයට පිරිහෙලීමකි. ඒ සමගම, මහජනතාව අතර ගැඹුරට කිමිදෙමින් කම්කරු පන්තියේ ස්වාධීන ගොනුවීමක් දුබල කර දමන පරිපාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමකි. නිශ්චිතව ම, ෆැසිස්ට්වාදයේ සාරාර්ථය ගැබ්ව ඇත්තේ එය තුලයි.

වසර 90 කට පසුව කෙනෙකුට පැවසිය හැක්කේ, ෆැසිස්ට්වාදය යනු කුමක්ද යන්නට මීට වඩා විශිෂ්ඨ හෝ වඩාත් නිවැරදි නිර්වචනයක් නොමැති බවත්, ට්‍රොට්ස්කි ඔහුගේ ජීවිත කාලය තුල වෙනත් කිසිවක් ලියා නොතිබුනත්, මෙම වචන පමනක් වුව ඔහුගේ දේශපාලන අමරනීයභාවය සහතික කරනු ඇති බවත් පමනි.

ස්ටැලින්වාදීන්ගේ ප්‍රතිපත්ති පිලිබඳ සිය විවේචනය තුල දී ට්‍රොට්ස්කි අවධාරනය කලේ, ඔවුන්ගේ වැරදි වල සාරභුත මූලාශ්‍රය වන්නේ, ජර්මනියේ ෆැසිස්ට්වාදයට එරෙහි සටන, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනයෙන් වෙන් වූ ජාතිකවාදී දිශානතියක් තුල පැවතීම බවයි. මෙය, සෝවියට් නිලධරයේ ජාතිකවාදී වැඩපිලිවෙල වන “තනි රටේ සමාජවාදයේ” බලපෑමට ලක්වූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් මෙහෙයවන ලද්දේ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල වෙනුවට පක්ෂයේ නිර්ධන පන්ති දිශානතිය අඳුරු කල නාසීන්ගේ ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට අනුගත වූ ජර්මානු “ජාතික ජනතා විප්ලවයක්” සඳහා කැඳවීමක් ඉදිරියට ගෙන යාමටයි. මෙම ව්‍යාජ ඉදිරිදර්ශනය හෙලිදරව් කරමින් ට්‍රොට්ස්කි මෙසේ ලීවේය:

ඒ සමගම, යුරෝපයේ නිර්ධන පන්තිය ඒකාබද්ධ කිරීමේ සටන් පාඨය පිලිකුල්සහගත ෆැසිස්ට් ස්වෝත්තමවාදයට, ප්‍රංශයට ඇම දැමීම ආදියට එරෙහි අරගලයේ ඉතා වැදගත් ආයුධයකි. වඩාත්ම සාවද්‍ය, වඩාත්ම භයානකම පිලිවෙත වන්නේ සතුරාට සමාන ලෙස පින්තාරු කර ගනිමින් උදාසීන ලෙස ඔහුට අනුගත වීමයි. ජාතික අපේක්ෂා භංගත්වයේ සහ ජාතික උන්මාදයේ සටන් පාඨවලට, ජාත්‍යන්තර විමුක්තියේ සටන් පාඨවලින් විරුද්ධ විය යුතුය. මේ සඳහා, පක්ෂයේ ජාතික සමාජවාදය විරේක කර දැමිය යුතු ය; එහි ප්‍රධාන අංගය වන්නේ තනි රටක සමාජවාදය පිලිබඳ න්‍යායයි.

නාසීන්ගේ ශක්තිය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පැවතියද, ස්ටැලින්වාදියෝ තම ප්‍රතිපත්ති වෙනස් කිරීම ප්‍රතික්ෂේප කලහ. ට්‍රොට්ස්කි ජර්මානු කම්කරු පන්තියට උද්වේගාත්මක අනතුරු ඇඟවීමක් නිකුත් කලේ ය:

කම්කරු-කොමියුනිස්ට්වාදීනි, ඔබ සිය දහස් ගනනකි, මිලියන ගනනකි; ඔබට කිසිම ස්ථානයකට පිටව යා නොහැක; ඔබට ප්‍රමානවත් විදේශ ගමන් බලපත්‍ර නොමැත. ෆැසිස්ට්වාදය බලයට පැමිනියහොත්, එය භයානක යුද ටැංකියක් මෙන් ඔබේ හිස් කබල සහ කොඳු ඇට පෙල මතින් ගමන් කරනු ඇත. ඔබේ ගැලවීම පවතින්නේ අනුකම්පා විරහිත අරගලය තුල ය. එමෙන්ම ජයග්‍රහනය ගෙන ආ හැක්කේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන් සමග එකමුතුව සටන් කිරීමෙන් පමනි. යුහුසුලු වන්න, කම්කරු-කොමියුනිස්ට්වාදීනි, ඔබට ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්ප කාලයකි!

ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දුන්නේ නැත. 1933 ජනවාරි 30 වන දින, පාලක පන්තියේ කුමන්ත්‍රනකරුවන්ගේ කන්ඩායමක් විසින් හිට්ලර් බලයට ගෙන ආවේ එක් වෙඩිල්ලකින් හෝ තොරවය. ට්‍රොට්ස්කි පුරෝකථනය කල පරිදි දින කිහිපයක් ඇතුලත, නාසීන් කම්කරු පන්තියට හා එහි දේශපාලන හා වෘත්තීය සමිති සංවිධානවලට එරෙහිව සිය ත්‍රස්ත මෙහෙයුම දියත් කලහ. එහෙත් ජර්මානු කම්කරු පන්තිය අත්විඳින ලද පරාජයේ දැවැන්ත පරිමානය පිලිගැනීම වෙනුවට, මොස්කව්හි ස්ටැලින්වාදී තන්ත්‍රය, එහි ජර්මානු අනුචරයා විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති තමන් විසින් නියම කර තිබුන ද, නාසීන්ගේ ජයග්‍රහනයට වගකිව යුතු පිලිවෙත් නිවැරදි බව ප්‍රකාශ කලේය.

ජර්මානු ව්‍යසනය කෙරෙහි තමන්ගේ සියලු වගකීම් වලින් ස්ටැලින්ගේ නායකත්වයෙන් යුත් ක්‍රෙම්ලින් නිලධරය නරුම හා රැවටිලිකාර ලෙස මග හැරීමෙන් අර්ථවත් කෙරුනේ යථා වශයෙන් ම, තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ බිඳවැටීමයි. 1933 ජූලි 15 දා, ඔහු බියුකාඩාවෙන් පිටත්ව යාමට ආසන්න දිනකදී, ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා සිය කැඳවීම නිකුත් කලේය. ඔහු මෙසේ ලිවීය:

ෆැසිස්ට්වාදයේ හෙන හඬින් අවදි නොවන්නාවූත්, නිලධරයේ එවැනි සාහසික ක්‍රියාවලට නිහතමානීව යටත් වන්නාවූත් සංවිධානයක් පෙන්නුම් කරන්නේ, එය මිය ගොස් ඇති බවත් කිසිවකට එය නැවත පන ගැන්විය නොහැකි බවත්‍ ය. මෙය විවෘතව හා ප්‍රසිද්ධියේ පැවසීම නිර්ධන පංතිය සහ එහි අනාගතය කෙරෙහි අපගේ සෘජු යුතුකමයි. අපගේ සියලු ඉදිරිකාලීන වැඩ වලදී, නිල කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ඓතිහාසික බිඳවැටීම අපගේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගැනීම අවශ්‍ය වේ.

සියලු පසුකාලීන සිදුවීම්, නව ජාත්‍යන්තරයක් සඳහා වූ ට්‍රොට්ස්කිගේ කැඳවුම සනාථ කලේ ය. ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රතිපත්ති දැනුවත් ප්‍රතිවිප්ලවවාදී ස්වභාවයක් අත්පත් කර ගත්තේය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා සහ සමාජවාදය සඳහා අරගලය, ක්‍රෙම්ලින් තන්ත්‍රය විසින්, ලෝක අධිරාජ්‍යවාදයේ නායකයින් සමග සිය ප්‍රතිගාමී රාජ්‍යතාන්ත්‍රික උපාමාරු ගැන තත්කාර්යවාදී ගනන් බැලීම් වලට යටත් කරන ලදී. 1936-39 භීෂනය අතරතුර පැරනි බොල්ෂෙවික්වරුන් සහ සමාජවාදී සටන්කාමීන්ගේ සමස්ත පරම්පරාවම සමූල ඝාතනය කිරීම මගින් ස්ටැලින් අදහස් කලේ, සෝවියට් තන්ත්‍රය ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් අනිවාර්ය ලෙසම බිඳී සිටින බව අධිරාජ්‍යවාදී බලවතුන්ට,පෙන්නුම් කිරීමයි. ස්ටැලින්වාදී තන්ත්‍රය සහ ඊට සම්බන්ධ පක්ෂ ප්‍රතිවිප්ලවයේ උපකරන බවට පරිවර්තනය වීම කූටප්‍රාප්තියට පත්වූයේ හරියටම වසර 85 කට පෙර එනම් 1939 අගෝස්තු 23 දා ස්ටැලින්-හිට්ලර් ගිවිසුම අත්සන් කිරීමෙනි. වසරකට පසුව, 1940 අගෝස්තු 20 දා ට්‍රොට්ස්කි සෝවියට් රහස් පොලිසිය වන ජීපීයූ ඒජන්තයකු අතින් මාරාන්තික තුවාල ලැබීය.

අද අපගේ හමුවේ දී මේ ඉතිහාසය සිහිපත් කිරීම උචිත ය. අද රැස්වීමේ මාතෘකාවේ සඳහන් වන පරිදි, ට්‍රොට්ස්කි අවුල් සහගත ලෝකයක් විශ්ලේෂනය කලේ මෙම නිසංසල දිවයිනේ සිට ය. අපි ට්‍රොට්ස්කි බියුකාඩාවේ ගතකල වසර කිහිපය සිහිපත් කරන්නේ, ලෝකය යලිත් වරක් වියවුලකට වැටී ඇති අවස්ථාවක ය. එය, මෙම අවස්ථාවට සුවිශේෂී අර්ථභාරයක් ලබා දෙයි.

බියුකාඩා හි ප්‍රේක්ෂකයින්.

අප උපහාර දක්වන්නේ, ලෙනින් සමඟ එකට නැගීසිටි, විසිවන සියවසේ විශිෂ්ඨතම මාක්ස්වාදී න්‍යායාචාර්යවරයා සහ විප්ලවවාදියා වූ මිනිසාට පමනක් නොවේ. සමකාලීන ලෝක දේශපාලනය තුල ට්‍රොට්ස්කිගේ දේශපාලන උරුමය අත්පත් කරගෙන තිබෙන අද්විතීය ස්ථානය අපි පිලිගනිමු.

ට්‍රොට්ස්කිගේ දේශපාලන සංකල්ප හුදෙක් “අදාල” ඒවා ලෙස විස්තර කිරීම බරපතල අවතක්සේරු කිරීමක් වන්නේය. ට්‍රොට්ස්කිගේ ලේඛන ක්‍රමානුකූලව අධ්‍යයනය නොකර කෙනෙකුට වර්තමාන ලෝකයේ දේශපාලන ප්‍රතිවිරෝධතා—එය ප්‍රකාශ වන අනෙකුත් දේ අතර, ෆැසිස්ට්වාදයේ ලෝක ව්‍යාප්ත පුනර්ජීවනයක් ද වේ—තේරුම් ගත නොහැක. ඔහුගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය ජාත්‍යන්තර සමාජවාදයේ මූලෝපාය සහ භාවිතයට, එනම් මානව වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරගලයට අත්‍යවශ්‍ය වන්නේ, අයින්ස්ටයින්ගේ සහ හයිසන්බර්ග්ගේ න්‍යායන් භෞතික විශ්වය අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය වන්නාක් මෙනි.

ට්‍රොට්ස්කිගේ දේශපාලන උරුමයට චිරස්ථායි සමකාලීන අර්ථභාරයක් පැවරීම වැරදි බවට, විශේෂයෙන් ධනවත් මධ්‍යම පන්තියේ ව්‍යාජ වාම දේශපාලන විද්වතුන් සහ වෘත්තිකයන්ගේ, විරුද්ධත්වය නොවරදවාම මතු වේ. ට්‍රොට්ස්කි පසුගිය සියවසේ මුල් භාගයේ තැනැත්තෙකු ලෙස සිටින බව ඔවුහු තර්ක කරති. ඔහු ඝාතනය කර වසර අසූ හතරක් ගත වී ඇත. සෝවියට් සංගමයම තවදුරටත් නොපවතී. අප ජීවත් වෙන්නේ බෙහෙවින් වෙනස් ලෝකයක ය. ඔවුන් කියා සිටින්නේ, කම්කරු පන්තියේ සහ පන්ති අරගලයේ කේන්ද්‍රීයත්වය පිලිබඳ මාක්ස්වාදී අවධාරනය—ඊනියා “පන්ති සාරාර්ථවාදය (essentialism)”—වාර්ගිකත්වය, ජාතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රමුඛත්වය දෙන අනන්‍යතා දේශපාලනය විසින් ඉක්මවනු ලැබ ඇති බව යි. ට්‍රොට්ස්කි හා සම්බන්ධ අදහස් හා ඉදිරිදර්ශන—එනම් ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල—ආරක්ෂා කිරීම “පිලිම වන්දනාවකි.” ඔවුන් ප්‍රකාශ කරන්නේ, ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදය “අදාලත්වයක් නැති” දෙයක් බවයි.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බර්ක්බෙක් විද්‍යාලයේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලිකයෙකු වන මහාචාර්ය ජෝන් කෙලී විසින් ඉදිරිපත් කෙරෙන තර්කයේ සාරය මෙයයි. මහාචාර්යවරයා පසුගිය වසර හය තුල ට්‍රොට්ස්කිවාදයේ අනදාලත්වය ඔප්පු කිරීමට කැප වූ පොත් දෙකක් ලියා ඇත. සමකාලීන ට්‍රොට්ස්කිවාදය නමින් පලමු වෙලුම 2018 දී ප්‍රකාශයට පත් කරන ලදී. ලෝක ට්‍රොට්ස්කිවාදයේ සන්ධ්‍යාභාගය නමින් දෙවන වෙලුම 2023 දී ප්‍රකාශයට පත් කලේය. මහාචාර්යවරයා “අදාල නොවන” ලෙස සලකන ව්‍යාපාරයක් සහ පුද්ගලයෙකු අධ්‍යයනය කිරීම සඳහා මෙතරම් කාලයක් හා වෙහෙසක් යොදා ඇත්තේ මන්දැයි යමෙකු විමසනු ඇත. ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය හෙලා දැකීමට මෙතරම් ශක්තියක් වැය කිරීමට මහාචාර්ය කෙලීට සිදුවූයේ මන් ද?

ලොව විශාලතම ප්‍රකාශකයින් අතර සිටින ඩොලර් මිලියන 50 ත් 100 ත් අතර වාර්ෂික ආදායමක් ලබන රූට්ලෙජ් ප්‍රකාශන සමාගම විසින්, කෙලීගේ වෙලුම් දෙක ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇයි? මෙම බලගතු ධනේශ්වර ප්‍රකාශන ආයතනය අනදාල සංවිධානයක් පිලිබඳ පොත් ප්‍රකාශනය සඳහා තම සම්පත් වැය කරන්නේ ඇයි? 2003 දී රූට්ලෙජ්, ලියොන් ට්‍රොට්ස්කිගේ චරිතාපදානයක් ද පල කල බව සිහිපත් කල යුතුය. එහි කතුවරයා වූ මහාචාර්ය ඉයන් තැචර් බුද්ධිමය වශයෙන් ප්‍රතිපත්ති විරහිත මඩ කරන්නෙකු ලෙස හෙලිදරව් කිරීමේ ඉහල ගෞරවය මට හිමි වේ. පැහැදිලිවම, ට්‍රොට්ස්කි කෙරෙහි රූට්ලෙජ්හි මිඩංගුවීම පෙන්නුම් කරන්නේ, එම සමාගම ඔහු (ට්‍රොට්ස්කි) “අනදාල බවක්” කිසිසේත්ම ඒත්තුගෙන නැති බවයි.

කෙලීට සහ ඔහුවැන්නන්ට නුරුස්නා දෙය නම්, විප්ලවවාදී ඉදිරිදර්ශනයට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල පවතින විශ්වාසවන්තභාවයයි. ඔහු මා සම්බන්ධව සිටින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වඩාත් කටුක විවේචනය සඳහා තෝරා ගනී. මහාචාර්ය කෙලී සහ මම කිසි දිනෙක හමු වී නැතත්, ඔහු මා විස්තර කරන්නේ “අවිනීත හා අහංකාර පුද්ගලයෙක්” ලෙස ය; එසේම ඔහු ට්‍රොට්ස්කිවාදය යනු “21 වැනි සියවසේ මාක්ස්වාදය යි” යන ජාත්‍යන්තර කමිටුවේ නිර්වචනයට දැඩි ලෙස විරුද්ධ වේ.

මහාචාර්ය කෙලී, “සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹේ” යන 2020 ජනවාරියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල අලුත් අවුරුදු ප්‍රකාශයේ සිරස්තලය හෙලා දකී. ඊට ප්‍රතිචාර වශයෙන් කෙලී මෙසේ ලියා ඇත:

මූලධර්මවාදය තුල තරයේ මුද්‍රා තබා ඇති, අව්‍යාජ අනුභූතික විමර්ශනයට හෝ න්‍යායික නව්‍යොත්පාදනයට සතුරු සාධර්මික ට්‍රොට්ස්කිවාදී සංවිධාන, ලොව පුරා ධනේශ්වර බලයට එරෙහිව ලෙනින්වාදී පන්නයේ ප්‍රහාර මෙහෙයවන මහජන විප්ලවවාදී පක්ෂ බවට ඔවුන්ගේ ආසන්න පරිවර්තනයේ යතුර ලෙස විසිවන සියවසේ මුල් කාර්තුවේ සටන් පාඨ සහ ප්‍රතිපත්ති, ඒ අදහස් සහ එම අදහස් පමනක් ම බව ඒත්තු ගන්වමින් ඒවා සදා පුනරුච්චාරනය කිරීම හේතුවෙන් ගර්හාවට ලක්ව සිටී. [ට්‍රොට්ස්කිවාදයේ සන්ධ්‍යාභාගය, පි. 97]

ඇත්ත වශයෙන්ම, මහාචාර්ය කෙලී විසින් ඉදිරිපත් කරන ක්‍රියාමාර්ගය, 1890 ගනන්වල ජර්මනියේ එස්පීඩීය සමාජ ප්‍රතිසංස්කරනවල පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට සැලැසුම් කල එඩුවාර්ඩ් බර්න්ස්ටයින්ගේ වැඩකටයුතු දක්වා, එනම්, දහනවවන සියවසේ අවසාන දශකය දක්වා දිවෙයි. අද කෙලී භාවිතා කරන වචනවලට බොහෝ දුරට සමාන වචන වලින්, බර්න්ස්ටයින් තර්ක කලේ මාක්ස් සහ එංගල්ස්ගේ විප්ලවවාදී වැඩපිලිවෙල යල් පැන ගොස් ඇති බවත්, ධනවාදයේ ප්‍රතිවිරෝධතා ප්‍රතිසංස්කරන සඳහා සුදුසු බවත්, ධනේශ්වර රාජ්‍යයන් අතර ගැටුම් යුද්ධයකින් තොරව විසඳාගත හැකි බවත් ය. කම්කරු පන්තියේ ජීවන තත්වය සීග්‍රයෙන් දියුනු වනු ඇත. සමාජවාදය සාක්ෂාත් කරගත හැක්කේ විප්ලවයෙන් නොව ධනේශ්වර සමාජය ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරනය කිරීමෙනි. නමුත් විසිවන සියවසේ සිදුවීම්—ලෝක යුද්ධ දෙක, පරමානුක අවි භාවිතය සහ ෆැසිස්ට්වාදයේ ම්ලේච්ඡත්වය සහ ඒ හා සම්බන්ධ මහජන මර්දනයේ විධික්‍රම —විසින් බර්න්ස්ටයින්ගේ මනෝරාජික සංකල්ප නිෂ්ප්‍රභා කරනු ලබා ඇත.

එඩ්වඩ් බර්න්ස්ටයින්

ලෝක ධනවාදයේ තීව්‍ර වන අර්බුදය මධ්‍යයේ කම්කරු පන්තියට ඉදිරි මාවත පෙන්වා දෙන, ට්‍රොට්ස්කි සහ ලෙනින් විසින් ඉදිරිපත් කරන ලද ඒවාට වඩා ඉහලින් පිහිටි නව සටන් පාඨ, ප්‍රතිපත්ති සහ අදහස් හඳුනා ගැනීමට මහාචාර්ය කෙලී අසමත් ය.

ට්‍රොට්ස්කිවාදීන් ආනුභුතික පර්යේෂන කෙරෙහි උදාසීන බවට මහාචාර්ය කෙලී චෝදනා කරයි. එහෙත්, සිය දෙපා සුවපහසු පාවහන් ද සිය නේත්‍රවලට ඉහලින් වුලන් වලින් නිමැවුනු රාත්‍රි හිස්වැස්මක් ද පැලඳ විශ්‍රාම සුවයෙන් පසුවන සම්මානනීය මහාචාර්යවරයා, ලෝක ධනවාදය ව්‍යාකූලත්වයට හා ම්ලේච්ඡත්වයට පල්ලම් බැසීම වඩ වඩාත් ප්‍රකටවන්නා වූ සංඥා නොදුටුවා සේ ය. ඔහු මෙසේ ලියයි: “ප්‍රතිසංස්කරනවාදී යුගය අවසන් වී ඇති බවට සහ ලෝක දේශපාලනය සරල තේරීමක් දක්වා එනම් සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය අතර තේරීමක් දක්වා ඌනනය වී ඇති බවට වන අදහස සංකල්පමය වශයෙන් බොලඳ මෙන්ම අනුභූතිකව දෝෂ සහිතය.” [78]

දැන් 2020 ගනන්වල මැද හරියට අප ලඟා වෙමින් සිටින අතර, සිදුවීම් නැඹුරු වී ඇත්තේ, වසර පහකට පෙර ජාත්‍යන්තර කමිටුවේ පුරෝකථනය සම්බන්ධයෙන් කෙලීගේ විසින් සමච්චලය පත්කරන තත්වය සනාථ කිරීම දෙසට ද? නව දශකයේ ආරම්භයේ සිට ලෝක ධනවාදයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන ව්‍යුහයන්හි ප්‍රමුඛතම ප්‍රවනතාවය කුමක්ද? සමකාලීන ලෝකයේ යථාර්ථයන්ට අන්ධ වූ ට්‍රොට්ස්කිවාදී “මූලධර්මවාදය” පිලිබඳ මහාචාර්ය කෙලීගේ විවේචන නිවැරදි නම්, ඔහුට උචිත අනුභූතික ලියකියවිලි අතැතිව, පසුගිය වසර හතරේ සිට පහ දක්වා කාලය තුල ලෝක ආර්ථිකය ඓන්ද්‍රීයව ශක්තිමත් වීමක් දක්නට ලැබුනු බව පෙන්නුම් කිරීමට සිදුවනු ඇත; සමාජ අස්ථාවරත්වය අඩුවීම, එනම් පන්ති ගැටුම අඩු වීම සහ ගෝලීය භූ දේශපාලන ආතතීන්වල අවනතිය හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ජීව ශක්තියෙන් වැඩීම යන කරුනු දෙකමත් පෙන්නුම් කිරීමට සිදුවනු ඇත.

ඇත්ත වශයෙන්ම, සමකාලීන ධනවාදයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන ව්‍යුහයේ තත්වය පිලිබඳව කරන පරීක්ෂනයක්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විශ්ලේෂනය සනාථ කරයි. සෑම ක්ෂේත්‍රයකම ස්ථාවරත්වයට වඩා අර්බුදය ප්‍රමුඛ වේ. දශකය ආරම්භ වූයේ ලෝකය පුරා පැතිර ගිය වසංගතයක් පුපුරා යාමත් සමඟ ය; එය අවම වශයෙන් මිලියන 27 ක “අතිරේක මරන” වලට තුඩු දුන් අතර තවමත් පාලනය කර නැත. එහි ගෝලීය විනාශය දිගටම පවතී. එක්සත් ජනපදය තුල පමනක් 2020 සිට කෝවිඩ් රෝගීන් බිලියන 1.1 ක් වාර්තා වී ඇති බව හෙලි කරන වාර්තාවක් මම අද කියෙව්වෙමි. මේ වසරේ මෙතෙක් සිදුවූ මරන සංඛ්‍යාව පසුගිය වසරට වඩා සියයට 20 කින් ඉහල ගොස් තිබේ. එහෙත් පාලක ප්‍රභූවේ ප්‍රතිපත්තිය වන්නේ වසංගතය නොසලකා හැරීම සහ එය තවදුරටත් සැලකිලිමත් විය යුතු ප්‍රශ්නයක් නොවන බව මවා පෑමයි. එම අනුක්සුතතාව, ගෝලීය උෂ්නත්වය ඉහල යාම කෙරෙහි ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් ද පෙන්නුම් කෙරෙයි. ගෝලීය විසඳුමක් අවශ්‍ය නවීන ජන සමාජයේ සියලු ගැටලු, සමාජීය වශයෙන් අතාර්කික හා විනාශකාරී ලුහුබැඳීම්වලට සහ සංගත ලාභ ඉපැයීමටත්, ගිජු ලෙස පුද්ගලික ධනය සමුච්චය කිරීමටත් යටත් කරනු ලැබ තිබේ.

තාක්ෂනයේ දැවැන්ත දියුනුව නොතකා, ගෝලීය මූල්‍ය පද්ධතිය බිඳවැටීමේ අද්දර සැලෙමින් තිබේ. එක්සත් ජනපදයට පසුගිය දශක එකහමාර තුල, ආර්ථික ව්‍යසනයන් වැලැක්වීම සඳහා, 2008 සහ 2020 දී දැවැන්ත මෙන් ම පෙර නොවූ විරූ මට්ටමේ රාජ්‍ය මැදිහත්වීම් දෙවරක් අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ජාතික නය ප්‍රමානය දරාගත නොහැකි මට්ටමට ඉහල යාමයි.

2007 දී එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 9 ක් වූ රාජ්‍ය නය අති දැවැන්ත ප්‍රමානයකි. 2023 අවසන් වන විට නය ඩොලර් ට්‍රිලියන 34 දක්වා ඉහල ගොස් ඇත. එය මිලියන 330 ක ජනගහනයක් අතර බෙදී ඇත්තේ සෑම ඇමරිකානුවෙක් ම ඩොලර් 104,000කින් පමන නය භරිතව සිටීමක් ලෙසය. සර්පිලාකාර උද්ධමනය පවත්වා ගෙනයා නොහැකි මට්ටමක ය. නය ආපසු ගෙවිය යුතුය. මේ සඳහා කම්කරු පන්තිය සූරාකෑම දැවැන්තව තීව්‍ර කිරීමක් අවශ්‍ය වේ. නමුත් මෙය ප්‍රජාතන්ත්‍රවාදීව හෝ සාමකාමීව සාක්ෂාත් කරගත නොහැක. විසිවන ශතවර්ෂයේ දී මෙන්, යුද්ධය හා ෆැසිස්ට්වාදය හරහා අර්බුදයෙන් මිදීමට මගක් සෙවීමට පාලක ප්‍රභූවට බලකෙරී ඇත.

එක්සත් ජනපද ෆෙඩරල් නය [රූපසටහන: ෆෙඩරල් සංචිත ආර්ථික දත්ත සමූහය] [Photo: Federal Reserve Economic Database]

පසුගිය වසරේ 2023 අගෝස්තු 20 වැනි දින පැවති පලමු ට්‍රොට්ස්කි අනුස්මරන උත්සවයේදී කතා කරද්දී, මම මෙසේ ප්‍රකාශ කලෙමි:

“දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට යන්තම් වසරකට පෙර 1938 දී ට්‍රොට්ස්කි විසින් ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනයේ විස්තර කර ඇති තත්වයට අපි අද හරියටම මුහුන දී සිටිමු: ‘සමාජවාදී විප්ලවයකින් තොරව, ඊලඟ ඓතිහාසික කාලපරිච්ඡේදයේ දී, මානව වර්ගයාගේ මුලු සංස්කෘතියම ව්‍යසනයකට මුහුන දී සිටි’”.

පසුගිය වසරේ සිදුවීම් එම අනතුරු ඇඟවීම සනාථ කර තිබේද? අපි ගිය වසරේ බියුකාඩා හිදී මුනගැසී සති හයකට පසුව, ඔක්තෝබර් 7 දා ඊශ්‍රායල රාජ්‍යයේ මර්දනයට එරෙහිව ගාසානුවන්ගේ නැගිටීම සිදු විය. ඊශ්‍රායල රාජ්‍යය ජන සංහාරක යුද්ධයක් දියත් කිරීමට එම නැගිටීම, පලස්තීන ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නිර්දය ලෙස ප්‍රතික්ෂේප කිරීමේ නොවැලැක්විය හැකි ප්‍රතිවිපාකය ලෙස ඇතිවූ එම නැගිටීම, ඩෑහගත්තේය. මාස 10 ක යුද්ධයකින් පසු ගාසා තීරය නටබුන් වී ඇත.

අධිකාරවත් ලැන්සෙට් සඟරාව විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මුලු මරන සංඛ්‍යාව දල වශයෙන් 180,000 කි. එය ඊටත් වඩා වැඩි විය හැකිය. ෆැසිස්ට් ඊස්‍රායල් පාලන තන්ත්‍රයේ අපරාධ ලෝක ජනතාව භීතියට පත් කර ඇතත්, එහි ක්‍රියාවන් සෑම අධිරාජ්‍යවාදී ආන්ඩුවක් විසින්ම ආරක්ෂා කරනු ලැබේ. සෑම සතියක ම පලස්තීන පිරිමින්, කාන්තාවන් සහ ලමයින් දහස් ගනනින් මරා දැමීමට භාවිතා කරන බෝම්බ සහ කාලතුවක්කු ඊශ්‍රායලයට ලබා දී ඇත්තේ එක්සත් ජනපදයයි. “ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇත” යන සටන් පාඨය යටතේ අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයන් රාජ්‍ය ප්‍රතිපත්තියේ නීත්‍යානුකූල මෙවලමක් ලෙස ජන සංහාරය භාවිතා කිරීම අනුමත කරයි. එහි සාහසික ක්‍රියා මැද, නෙතන්‍යාහු නම් ඊශ්‍රායල හිට්ලර්ට විදේශීය නායකයෙකුට පිරිනැමිය හැකි ඉහලම ගෞරවය ලබාදෙමින් එක්සත් ජනපද කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියක් ඇමතීමට ආරාධනා කරන ලදී.

ඊශ්‍රායලය ම්ලේච්ඡත්වයට ඇද වැටීම 1940 දී ට්‍රොට්ස්කි විසින් කරන ලද පුරෝකථනය සනාථ කරයි. සියොන්වාදී ව්‍යාපෘතියට විරුද්ධ වෙමින් ඔහු මෙලෙස අනතුරු ඇඟවූයේය: “යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමනය කරවීම මගින් යුදෙව් ප්‍රශ්නය විසඳීමට දරන උත්සාහය, යුදෙව් ජනතාවට කරන ලද ඛේදනීය සමච්චලයක් බව දැන් දැකගත හැකිය.” මෙම ප්‍රතිගාමී ස්වෝත්තමවාදී ව්‍යාපෘතිය දැන් ඊශ්‍රායල ජනගහනය ඓතිහාසික පරිමානයේ අපරාධයකට වගකිවයුතු තැනකට පත්කර ඇත. ජන සංහාරයට ගොදුරු වූවන්ගෙන් පැවත එන්නන්, ජන සංහාරයට වගකිවයුතු අපරාධකරුවන් බවට පත්ව ඇත. ඊශ්‍රායල කම්කරු පන්තිය හා තරුනයන් සියොන්වාදයේ ප්‍රතිගාමී දෘෂ්ටිවාදයෙන් හා දේශපාලනයෙන් තමන්ම බිඳී වෙන්විය යුතුය. වසර 84 කට පෙර ට්‍රොට්ස්කි විසින් ලියන ලද වදන් ක්ෂනික අදාල භාවයක් අත්කර ගෙන ඇත: “යුදෙව් ජනතාවගේ ගැලවීම ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමත් සමඟ වෙන් කල නොහැකි ලෙස බැඳී ඇති බව අද මෙන් වෙන කිසිදා පැහැදිලි වී නැත.”

පසුගිය වසරේ අප හමුවන විට, රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල නැටෝවේ වක්‍ර යුද්ධය එ්වනවිටත් මාස 18 ක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පැවතුනි. යුද්ධය තවත් වසරක් පැවතුනා පමනක් නොවේ; එය පූර්න පරිමානයේ න්‍යෂ්ටික යුද්ධයක් ලෙස පුපුරා යාමට තර්ජනය කරන මට්ටමට උත්සන්න වෙමින් පවතී. එක්සත් ජනපදය සහ නැටෝව තරනය කිරීමට සූදානම් නොවන “රතු ඉරි” නොමැති බව පැහැදිලි කර ඇත. පසුගිය සති තුන තුල යුක්‍රේනය, එක්සත් ජනපදය සහ නැටෝව විසින් සපයන ලද ආයුධ සහ අනෙකුත් සම්පත් භාවිතා කරමින්, රුසියානු භූමිය ආක්‍රමනය කර ඇත. 1944 සිට අධිරාජ්‍යවාදී බලවේග රුසියාව අත්පත් කරගෙන නැත. යුක්‍රේනයට පමනක් නොව එහි එක්සත් ජනපද සහ නැටෝ අනුග්‍රාහකයන්ට ද එරෙහිව පලිගැනීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බව පුටින් පාලනය නිගමනය කරන්නේ කුමන අවස්ථාවකදීදැයි ඇසීමට කෙනෙකුට බල නොකෙරේද? එය ගෝලීය ව්‍යසනයක් වනු ඇත.

2024 අගෝස්තු 16, සිකුරාදා, රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයේ සුඩ්ෂා අසල පාර අයිනේ තිබෙන විනාශ වූ රුසියානු යුද ටැංකියක්. [ඒපී ඡායාරූප] [AP Photo]

ගාසා ජන සංහාරය සහ නැටෝ-රුසියානු ගැටුම මානව වර්ගයාගේ පැවැත්ම අවදානමට ලක් කරන ගෝලීය අරගලයක වර්තමාන කේන්ද්‍රීය ලක්ෂ්‍යයයි. මෙම ගැටුමේ ප්‍රභවයෙහි මූලය ලෙස ඇත්තේ, පවතින ජාතික රාජ්‍ය ක්‍රමය ගෝලීය වශයෙන් අන්තර් සම්බන්ධිත ලෝක ආර්ථික ක්‍රමයක යථාර්ථය සමග නොපෑහීම තුල ය. ධනවාදයේ රාමුව තුල මෙම මූලික ප්‍රතිවිරෝධයට යුද්ධය හැර වෙනත් විසඳුමක් නොමැත. ලෝක යුද්ධයට ඇති එකම ශක්‍ය විකල්පය ලෝක සමාජවාදී විප්ලවය යි.

මහාචාර්ය කෙලී ප්‍රකාශ කරන පරිදි ධනවාදයේ ව්‍යසනයන් ප්‍රතිසංස්කරනවාදී සම්බාහන සහ පාද දෝවනයෙන් විසඳිය හැකි නම්, අප ලොව පුරා ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනයක් දකින්නේ ඇයි? මෙලෝනිගේ ඉතාලි සහෝදරයෝ, ප්‍රංශයේ ලේ පෙන් ගේ ජාතික රැලිය, ජර්මනියේ ඒඑෆ්ඩී, ස්පාඤ්ඤයේ වොක්ස් සහ එක්සත් ජනපදයේ ට්‍රම්ප්වාදය එම ප්‍රවනතාවය විදහා දක්වයි. කෙසේ වෙතත්, මෙම සංවිධානවල සහ ව්‍යාපාරවල වර්ධනය මේ මොහොතේ පැන නගින්නේ නාසි වැනි පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීම සඳහා වූ මහජන සහයෝගයෙන් නොවේ. ඊට් විපරීතව, පිරිහෙන සමාජ තත්වයන් කෙරෙහි සාම්ප්‍රදායික පක්ෂවල නොතැකීම නිසා පැන නගින අපේක්ෂා භංගත්වය ෆැසිස්ට්වාදීහු ගසාකමින් සිටිති. ප්‍රකෝටිපති කතිපයාධිකාරීන් කොටස් විසින් අරමුදල් සපයනු ලබන මාධ්‍ය තුලින් ප්‍රවර්ධනය ලබන ෆැසිස්ට්වාදීන්, 1930 ගනන්වල සහ 1940 ගනන්වල ධනවාදයේ ව්‍යසනවලට යුදෙව්වන් බිලි දුන්නාක් මෙන්, අද, සංක්‍රමනිකයන්ට එරෙහි ප්‍රහාර දෙසට මෙම අපේක්ෂා භංගත්වය හරවනු ලබයි.

ධනවාදයේ සහ ලෝක අධිරාජ්‍යවාදයේ බලකොටුව තුල ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය, පවතින දේශපාලන ක්‍රමයට ප්‍රගතිශීලී පිලිතුරක් නොමැති අර්බුදයේ බරින් මිරිකී තිබේ. ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වයෙන් 2021 ජනවාරි 6 වන දින කුමන්ත්‍රනය කිරීමට උත්සාහ කිරීම ඇමරිකානු ඉතිහාසයේ තීරනාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කලේය. “එවැන්නක් මෙහි සිදු විය නොහැක” යන ප්‍රකාශය, එනම්, ඇමරිකාව කිසිදා ෆැසිස්ට්වාදයට යා නොහැකි බව, එදින සිදු වූ සිදුවීම් විසින් කීතුකර දැමුනි . කුමන්ත්‍රනයේ සංවිධායකයා දඬුවමෙන් ගැලවුනා පමනක් නොවේ. ඔහු නැවතත් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ය. පසුගිය සතිය තුල, ජනාධිපති බයිඩන්, හොඳ සිහි කල්පනාවෙන් සිටි මොහොතක, පහත සඳහන් ප්‍රකාශය කලේය:

තමන් නැවත පැරදුනහොත් මැතිවරන ප්‍රතිඵලය පිලිගැනීම ප්‍රතික්ෂේප කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ගැන සිතන්න. ඔහු පැරදුනහොත් ලේ වැගිරීමක් සිදුවන බව ඔහුගේ වචන වලින් ම ඔහු සහතික වෙයි. ඔහුගේම වචන වලට අනුව, පලමු දිනයේ දී ම ඔහු ඒකාධිපතියෙකු වනු ඇත. එකත් එකටම, මොටියාගේ අදහස එයයි. නැහැ, මම විහිලු කරනවා නොවේ. අතීතයේදී, වෙන කවුරුහරි කිව්වා නම්, ඔබ ඔහු උමතු වී ඇතැයි සිතනු ඇත, එය අතිශයෝක්තියක් යැයි ඔබ සිතනු ඇත, නමුත් ඔහු අදහස් කරන්නේ හරියටම එයයි .

මෙම අනතුරු ඇඟවීම කලේ වත්මන් ජනාධිපතිවරයා විසිනි. එක්සත් ජනපදය පොලිස් රාජ්‍යයක් වීමේ අද්දර සිටින බව බයිඩන් පැහැදිලිවම ප්‍රකාශ කලේය. ට්‍රම්ප් තවත් කුමන්ත්‍රනයකට උත්සාහ කලහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඔහු කුමක් කරන්නේදැයි බයිඩන් ප්‍රකාශ නොකල බව, සැහැල්ලුවෙන් සැලකිය යුතු කරුනක් නොවේ; එමෙන්ම, දෙවනුව ගත්කල, බයිඩන්ගේ අනතුරු ඇඟවීම මාධ්‍යවල වාර්තා වූයේ යන්තමිනි. නිශ්ශබ්දතාවය ප්‍රකාශ කලේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම කෙරෙහි ඇමරිකානු පාලක පන්තියේ නොතැකීමයි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයේ පාලක කතිපයාධිකාරීන් තුල වැඩෙන සම්මුතියක් ඇත, නමුත් එහි පමනක් නොව, ඇත්ත වශයෙන්ම දේශීය හා ජාත්‍යන්තරව, ලොව පුරා රටවල ඔවුන්ගේ අවශ්‍යතා, ප්‍රජාතන්ත්‍රවාදය සමග නොගැලපේ. සමාජ අසමානතාවයේ අති විශාල මට්ටම වැඩෙන මහජන කෝපය අවුස්සන බවත්, අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට අවශ්‍ය වන පරිදි ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර පන්ති ගැටුම් දැවැන්තව උත්සන්න කරනු ඇති බවත් පාලක ප්‍රභූව හොඳින්ම දනී. පාලක පන්තිය ෆැසිස්ට්වාදය දෙසට හැරීම, කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය සහ සමාජවාදය වෙත හැරීම ප්‍රචන්ඩත්වය මගින් පූර්වභංග කිරීමේ සහ මැඩලීමේ උත්සාහයකි.

අධිරාජ්‍යවාදී යුගයේ දී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය සහ තීරන්ත්මක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමාජවාදය සඳහා වන අරගලය සමග අවියෝජනීය ලෙස බැඳී පවතින බව නොනවතින විප්ලවයේ න්‍යාය තහවුරු කරයි. ෆැසිස්ට්වාදයේ පරාජය සඳහා කම්කරු බලය ස්ථාපිත කිරීම හා ධනේශ්වර අයිතිය පෙරලා දැමීම සහ නිෂ්පාදන මාධ්‍ය පාලනය කිරීම අවශ්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව සමාජවාදයක් පැවතිය නොහැකි වන්නාක් මෙන්ම, සමාජවාදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම කල නොහැක්කකි.

අවසාන වශයෙන්, මහාචාර්ය කෙලී ගේ ලෝක ට්‍රොට්ස්කිවාදයේ සන්ධ්‍යාභාගය මෙසේ අවසන් කරයි: “අසූවසරකට වැඩි ට්‍රොට්ස්කිවාදී ක්‍රියාකාරකම් වලින් පසුව, එහි නාමයෙන් විප්ලව, මහජන පක්ෂ හෝ මැතිවරන ජයග්‍රහන නොමැතිව... ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමාජවාදීන්ට ආවෘත අන්තයක් බවට පත්ව ඇත.” හතරවන ජාත්‍යන්තරයට එරෙහිව එල්ල කරන ලද සියලු විවේචන අතුරින්, මෙය ඉතාමත්ම තකතීරු සහ අශිෂ්ඨම විවේචනයයි.

විප්ලවවාදී ක්‍රියාවලිය ඕනෑම වෛෂයික ඓතිහාසික හා දේශපාලන සන්දර්භයකින් ඉවත් කරන මෙම විවේචනයෙන් ගම්‍ය කෙරෙන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දේශපාලන රික්තකයක් තුල ක්‍රියාත්මක වී ඇති බවකි. එය අහිතකර වෛෂයික තත්වයන්ට හෝ විශාල සම්පත් ඇති පන්ති සතුරන්ට මුහුන දුන්නේ නැත.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආනුභාවයට එරෙහිව සටන් කිරීම සඳහා ධනේශ්වර රාජ්‍යය ද කම්කරු ව්‍යාපාරය තුල එය විසින් සේවයේ යොදවනු ලැබ සිටින ඒජන්තයින් වන වෘත්තීය සමිති නිලධරයන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවාදීන්, ස්ටැලින්වාදීන්, අරාජිකවාදීන්, ධනේශ්වර ජාතිකවාදීන් ආදී බලවේග ගැන කෙලී කිසිදු සඳහනක් නොකරයි. සෘජුව ම කියන්නේ නම්, කෙලී යනු, ඔහුගේ ප්‍රතිසංස්කරනවාදී අමනකම් සහ නරුමත්වයෙන්, කම්කරුවන් අතර විප්ලවවාදී දේශපාලනයේ වර්ධනයට වල කැපීම සඳහා ධනේශ්වර පන්තිය විසින් භාවිතා කරන ලද එක් උපකරනයක් පමනි.

ඩේවිඩ් නෝර්ත් බියුකාඩා දේශනයෙන් පසු සියොන්වාදයේ තර්කනය පොතේ පිටපත්වල අත්සන් කරමින්.

විප්ලවවාදී පක්ෂයක පිලිබඳව උරගල වන්නේ, සෑම විටම සහ වෛෂයික තත්වයන් නොතකා, සාර්ථක විප්ලවයකට නායකත්වය දීමට හැකි ද යන්න නොවේ. ඊට විපරීත ලෙස, තීරනාත්මක නිර්නායකය වන්නේ වෛෂයික තත්ත්වය පිලිබඳ නිවැරදි විශ්ලේෂනයක් මත පදනම් වූ ප්‍රතිපත්ති සඳහා පක්ෂය සටන් කලේද යන්න සහ කම්කරු පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙනගියා ද යන්නයි.

බොල්ෂෙවික් පක්ෂයේ සහ සෝවියට් රාජ්‍යයේ නිලධර පරිහානියට එරෙහිව ට්‍රොට්ස්කිවාදය 1923 දී ප්‍රථම වරට පැහැදිලි දේශපාලන ප්‍රවනතාවයක් ලෙස මතු වූ දා සිට, එය අතිමහත් දේශපාලන අත්දැකීමක් අත්පත් කරගෙන ඇත. කම්කරු පන්තිය මහජන ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසින් මෙහෙයවනු ලැබූ සහ නොමඟ යවන ලද අහිතකර කොන්දේසි තුල—“ප්‍රවාහයට එරෙහිව” ක්‍රියා කිරීමට එයට බල කෙරුනි. එහෙත් හතරවන ජාත්‍යන්තරයේ ඉදිරිදර්ශනයේ සහ වැඩපිලිවෙලේ නිවැරදි බව ඉතිහාසය විසින් සනාථ කර ඇත.

1938 දී, හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සැමරීමේ කතාවක දී ට්‍රොට්ස්කි පුරෝකථනය කලේ, ඓතිහාසික සිදුවීම් පරීක්ෂාව, ප්‍රති-විප්ලවවාදී ඒජන්සිවල “එක ගඩොලක්වත් ඉතිරි නොකරනු ඇතිබවයි.” එය සත්‍ය බව ඔප්පු වී ඇත.

“සැබැවින්ම පවතින සමාජවාදයේ” බහුජන ස්ටැලින්වාදී පක්ෂ සුනුවිසුනු වී අපකීර්තියට පත්ව ඇත. සෝවියට් නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරියේය. සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ වලින් වෙන්කර හඳුනාගත නොහැකි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සමාජවාදය ස්ථාපිත කිරීම තබා, තවදුරටත් ධනවාදයේ ප්‍රතිසංස්කරන සඳහා න්‍යාය පත්‍රයක්වත් ඉදිරියට ගෙන යන්නේ නැත. ස්පාඤ්ඤයේ පොඩෙමෝස් හෝ ග්‍රීසියේ සිරිසා, ලතින් ඇමරිකාවේ පින්ක් ටයිඩ් වැනි නව මාර්ගයක් සොයා ගත් බව කියන සංවිධාන සෑම සිදුවීමක් පාසා ම අපකීර්තියට පත් වේ. සාමය සහ සමෘද්ධිය සඳහා පන්ති අරගලයක් හෝ සමාජ විප්ලවයක් හෝ අවශ්‍ය නොවන බව පවසමින් “තෙවන මාවතේ” ගමන් කල සෑම ආකාරයකම වීරයෝ කෝබින් වැනි බෙලහීන වංචාකරුවන් ලෙස ද බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් වැනි දුෂ්ට දේශපාලන අපරාධකරුවන් ලෙස ද හෙලිදරව් වෙමින් සිටිති.

හතරවැනි ජාත්‍යන්තරය ඉතිහාසයේ පක්ෂයකි. එය ආරම්භ කරන ලද්දේ ධනවාදයේ මර ලතෝනි යුගයේ අත්‍යවශ්‍ය කර්තව්‍යය අවසානය දක්වා ගෙන යාමට ය: ලෝක සමාජවාදී විප්ලවය හරහා ධනේශ්වර පීඩනය අවසන් කිරීමට ය. සමාජවාදය සඳහා අරගලය මාක්ස් සහ එංගල්ස් විසින් මුලින් පුරෝකථනය කලාට වඩා සංකීර්න හා දිග්ගැස්සුනු බව ඔප්පු වී ඇති බව සත්‍යයකි. එහෙත් ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්ප මගින් අනාවරනය කරගත් සමාජ සංවර්ධන නීති සහ ප්‍රාග්ධනයෙහි විශ්ලේෂනය කරන ලද ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ ප්‍රතිවිරෝධතා අවලංගු වී නැත. 1917 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ ලෝක සමාජවාදී විප්ලවයේ යුගය නිමවී නැත.

සමාජයේ ප්‍රධාන විප්ලවවාදී බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වෛෂයික සිදුවීම් විසින් ධනවාදයට එරෙහි ව වඩාත් සවිඥානික අරගලයක් දෙසට ද එහෙයින්, 21 වන සියවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය දෙසට ප්‍රේරනය කෙරෙයි.

වැඩිදුර අධ්‍යයනය සඳහා

ඩේවිඩ් නෝර්ත් : ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා (කම්කරු මාවත ප්‍රකාශනයකි -2012)

Loading