විදුලිබල ඇමති ලංවිම රැකියා දසදහස් ගනන් කප්පාදු කිරීමේ සැලසුම් ගැන වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කරයි

ලංකා විදුලිබල මංඩලය ප්‍රතිව්‍යුහකරනය තුල නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම සහ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් මගින් ලංවිම ශ්‍රමබලකාය අඩුකිරීම ගැන (ලංවිම) පාලනාධිකාරය සහ එහි වෘත්තීය සමිති සමග පසුගිය සඳුදා සාකච්ඡා කල බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මාධ්‍යයට සඳහන් කර ඇත.

ලංකා විදුලිබල මන්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානය (ලංවිමඑවෘසසං)කැඳවුම්කරු රන්ජන් ජයලාල් (ලෝසවෙඅ මාධ්‍ය)

මෙහි දී “ලංවිම ප්‍රතිසංස්කරනවල ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය, ප්‍රධාන නව ආයතන සඳහා පත්වීම්, මානව සම්පත් කලමනාකරන ප්‍රතිපත්තිය, යෝජිත නව වැටුප් ව්‍යුහයන්, කාර්ය සාධනය පදනම් කරගත් දිරිගැන්වීම් ක්‍රම සහ ස්වේච්ඡා විශ්‍රාම ප්‍රතිපත්තිය පිලිබඳව සාකච්ඡා කල” බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

සාකච්ඡාවට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (ඒවෘසස) ට සම්බන්ධ සියලුම නායකයන් සහභාගී වී ඇත. ඒවෘසස යනු, ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේසං), ලංවිම හි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං), ජාතික සේවක සංගමය (ජාසේසං), පාරිභෝගික සම්බන්ධීකරන නිලධාරීන්ගේ සංගමය (පාසනිසං) සහ ඉංජිනේරු සංගමය ඇතුලු දුසිම් දෙකකට වැඩි සංගම්වල එකතුවකි. පලමු වෘත්තීය සමිති තුන පිලිවෙලින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරනු ලබන සමිති වෙයි.

ඒවෘසස, පනත බලාත්මක කෙරුනු ජූලි 23 දා ඇමති විජේසේකර සහ ලංවිම බලධාරීන් සමග පුද්ගලීකරන හා රැකියා වැනසීමේ සැලසුම් ක්‍රියාවට දැමීමේ සාකච්ඡාවකට සහභාගිවිය. අගෝස්තු 7 පැවැත්වුනේ එහි දෙවන සාකච්ඡා වටයයි.

බලශක්ති ඇමති සහ ලංවිම බලධාරීන් සමග සාකච්ඡාවලට යාමට පෙර හෝ එම අවස්ථාවන්හි දී යෝජිත ඇමති කල යෝජනා හා තමන් ඊට දැක්වූ ප්‍රතිචාර ගැන ඒවෘසස, තම සාමාජිකයන් ගේ අදහස් විමසීමක් තබා ඒ පිලිබඳව දැනුම්දීමක් පවා කර නැත.

සාමාජිකත්වයට හොරෙන් ඇමති සහ පාලනාධිකාරිය සමග කෙරෙන සාකච්ඡා හරහා ලංවිම සේවකයන් දහස් ගනනකගේ රැකියා විනාශ කිරීමට, වැටුප් කප්පාදු කිරීමට, වැඩ වේගවත් කිරීමට සහ ලංවිම කොටස් 12 කට කඩා ක්‍රමානුකුලව පුද්ගලීකරනය කිරීමට සමිති නායකත්වය සක්‍රියව සහයෝගය දෙති.

රැකියා අහෝසිකිරීමේ සැලසුම් යටතේ ලංවිම හි 26,000 ක ශ්‍රමබලකාය 5,000 දක්වා පහෙන් එකකට කප්පාදු කෙරෙයි. ඒ සඳහා ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් ක්‍රියාවට දැමෙන අතර විශ්‍රාම ගැනීමෙන් ඇතිවන පුරප්පාඩු සඳහා බදවා ගැනීම් අත්හිටුවයි. යෝජිත නව වැටුප් ව්‍යුහය කුමක්දැයි පැහැදිලි කර නැතත් ලංවිම පිරිවැය කැපීමේ සහ වැඩ වේගවත් කිරීමේ පදනමක් මත එය සිදු කෙරුන ඇත. කාර්යසාධන දිරිදීමනා ක්‍රමය සහ මානව සම්පත් කලමනාකරනය ක්‍රියාවට දැමෙන්නේ එම සැලසුම් වලට සම්බන්ධිතවයි.

මෙම සැලසුම් ක්‍රියාවට දැමීම සඳහා ඇමති මන්ඩලයේ අනුමැතිය ඇතිව ජාතික පද්ධති ක්‍රියාකාරක සහ ජාතික විදුලිබල අංශයේ උපදේශක සභාවක් පිහිටුවා ඇති බව ද විජේසේකර සඳහන් කර ඇත.

පුද්ගලීකරනය ට විරුද්ධව 20,000 අධික ලංවිම කම්කරුවෝ ජනවාරි මාසයේ වර්ජනයක සහ විරෝධතා උද්ඝෝෂනවල යෙදී ගත්හ. පනත සම්මත කෙරුනත් ක්‍රියාවට දැමීමට ඉඩ නොදෙන බවට බොරු වහසි බස් දෙඩූ සමිති නිලධරය කලේ වික්‍රමසිහ ආන්ඩුවට බලපෑම් දැමීමේ නිෂ්ඵල ව්‍යයාමයකට කම්කරුවන් ව කොටුකර ඔවුන්ගේ විරුද්ධත්වය දියකර දැමීමයි.

ලංවිම කම්කරුවන් මත මෙම ප්‍රහාරය එල්ල කෙරෙන්නේ ඩොලර් බිලියන තුනක ඇපනයක් ලබා දීමට හිලව්වට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කර ඇති ආර්ථික කප්පාදු වැඩපිලිවෙල යටතේ රාජ්‍ය ආයතන සියගනනක් ප්‍රතිව්‍යුහකරනය හෝ පුද්ගලිකරනය කිරීමේ කොටසක් ලෙසයි.

ලංවිම සමග ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව පුද්ගලීකරනය කිරීමේ සැලසුම් ද දැනටමත් ක්‍රියාවට දමා ඇත. ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ වෘත්තීය සමිති නිලධරයේ පුර්න සහයෝගය ඇතිව ටෙලිකොම් සහ රක්ෂන සංස්ථාවේ ද දහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා අහෝසි කිරීමට නියමිතය.

මෙම ක්‍රමය යටතේ ටෙලිකොම් ආයතනයේ විශ්‍රාම ගන්වන කම්කරුවෙකුට ලැබෙන්නේ උපරිම රුපියල් ලක්ෂ 15 සහ අවමය රුපියල් ලක්ෂ 5 ක සොච්චම් වන්දියකි. රක්ෂන සංස්ථාවේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය එහි කම්කරුවන්ගේ බරපතල විරෝධය නිසා තාවකාලික නතර කර ඇතත් කල් නොයවා ක්‍රියාවට දමනු ඇත.

ආන්ඩු පක්ෂයේ මෙන් ම සමගි ජන බලවේගය සහ ජවිපෙ ඇතුලු විපක්ෂයේ කිසිදු පක්ෂයක් හෝ එම පක්ෂ විසින් මෙහෙයවන හෝ ඊනියා ස්වාධින යයි කියා ගන්නා කිසිදු වෘත්තීය සමිතියක් ජාමූඅ කප්පාදු වැඩ පිලිවෙලට විරුද්ධ නැත.

වැඩවර්ජන සංවිධානය කිරීම හෝ ඒවාට සම්බන්ධ නොවන බවත් ඒ වෙනුවට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහනය කිරීම සඳහා සියලු දෙනා සහාය දිය යුතු බවත් ජවිපෙට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව පොදු අරගලයක් සංවිධානය කිරීමේ ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 14 දින රැස්වීමක් කැඳවීම් නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය අගෝස්තු 2 වෙනිදා නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ:

“වෘත්තීය සමිති යටතේ අපගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කරගැනීමට හෝ වැඩි දියුනු කර ගැනීමට නොහැකි බව ඔප්පු වී තිබේ. ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන එක්සත් අරගලයක් සංවිධානය කිරීම සඳහා අපට තවත් නාස්ති කිරීමට කාලයක් නැත. කොපමන විරෝධතා සහ බලපෑම් කල ද ආන්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇත. වෘත්තීය සමිති නායකයින් හුදකලා, විසුරුනු සහ සීමිත විරෝධතා කැඳවා ඇත්තේ සේවකයින්ගේ කෝපය අපසරනය කිරීම සඳහා පමනි.

“මෙම ධනපති පක්ෂ හා ඒවායේ වෘත්තීය සමිති මැතිවරනයට සහාය ඉල්ලා සිටීම දේශපාලන උගුලකි. අප එය සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කල යුතුය. කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ, ආන්ඩුවේ ජාමූඅ කප්පාදු පරාජය කිරීම සඳහා අපගේ එක්සත් ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනි.

“අප පසුගිය අරගලවල පාඩම් උකහා ගත යුතුය. පලමු හා ප්‍රධානතම පාඩමක් වන්නේ, ධනේශ්වර ක්‍රමයට හා ධනේශ්වර පක්ෂවලට බැඳී ඇති වෘත්තීය සමිති ගැන අපට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය යන්නයි. ඔවුන් සියල්ලෝම ජාමූඅ වැඩසටහනට සහයෝගය දක්වති. පසුගිය කාලය තුල අපගේ කටුක අත්දැකීම එය යි.

“වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු අප විසින් ටෙලිකොම්, ලංවිම සහ රක්ෂන සංස්ථාවේ පිහිටුවිය යුත්තේ එබැවිනි. ඒවා තුල වෘත්තීය සමිති නිලධරයට ඉඩ නොදිය යුතුය.”

ටෙලිකොම්, රක්ෂන සංස්ථාව, ලංවිම ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනයට සහ සමස්තයක් ලෙස ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව අරගලය වර්ධනය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය විසින් අගෝස්තු 14 බදාදා සවස 4 ට කොලඹ 02 ජයසේකර කලමනාකරන මධ්‍යස්ථානයේ (ජේඑම්සී) පවත්වනු ලබන ප්‍රසිද්ධ රැස්වීමට සහභාගි වන ලෙස අපි කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading