ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු, නවකතාකරුවෙකු සහ කම්කරුවන් සහ තරුනයන් බොග්ඩාන් සයිරෝටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති

[මෙය Journalist, novelist, workers and youth in Sri Lanka demand freedom for Bogdan Syrotiuk යන මැයෙන් 2024 ජූලි 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය, “බරපතල ලෙස රාජද්‍රෝහී” බවටත්, රුසියානු ආන්ඩුවට අනුබල දෙන බවටත් ව්‍යාජ චෝදනා මත, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) හි ආරම්භක නායක බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගෙන සිරගත කර මේ වන විට මාස තුනක් ගතවී ඇත.

බොග්ඩාන් සයිරොටියුක්

වයිජීබීඑල් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමග පෙලගැසී සිටින, රුසියාව සහ යුක්‍රේනය ඇතුලු පැරනි සෝවියට් සංගමය තුල ක්‍රියාකාරී සංවිධානයකි. විසිපස් හැවිරිදි සයිරොටියුක්, ජාත්‍යන්තර කමිටුවේ යුද විරෝධී පිලිවෙත් වෙනුවෙන් යුක්‍රේන කම්කරුවන් හා තරුනයන් අතර නිර්භීතව සටන් කර ඇත.

බොග්ඩාන් සහෝදරයාට ව්‍යාජ චෝදනා එල්ල කර සහ සිරගත කර ඇත්තේ, ඔහු රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධයට විරුද්ධ වීමත්, දෙරටේම ධනේශ්වර කතිපයාධිකාරීන්ට එරෙහිව රුසියානු හා යුක්‍රේන කම්කරුවන් එක්සත් කිරීම සඳහා සටන් කිරීමත් නිසා ය.

බොග්ඩාන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කර ඔහු වහා සිරෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්, කතුවරයකු, වෘත්තිකයන්, මෙන්ම කම්කරුවන් සහ තරුනයන්ගේ මෑත ප්‍රකාශ අපි පහත පල කරමු.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එල්ල වන මර්දනකාරී ප්‍රහාරවලට එරෙහි ව, නිදහස් ගවේෂනාත්මක මාධ්‍යවේදියකු වන බිමල් රුහුනගේ මෙසේ ප්‍රකාශ කලේය. රුහුනගේ සහ තවත් මාධ්‍යවේදියෙකු මේ වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් හිංසා කර අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍යවේදියෙකු වන බිමල් රුහුනගේ [ඡායාරූපය, බිමල් රුහුනගේ] [Photo by Bimal Ruhunage]

අප යුක්‍රේන ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආන්ඩුවට බලකර සිටින්නේ, බොග්ඩාන් සයිරෝටියුක් වහාම නිදහස් කරන ලෙස යි.

ලෝසවෙඅ ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ, බොග්ඩාන් සයිරොටියුක් යනු එක්සත් ජනපදයේ සහ නැටෝ බලවතුන්ගේ පිටුබලය ඇතිව රුසියාවට එරෙහිව බිහිසුනු පරිමානයෙන් කරගෙන යන යුද වහ්නිජාලාවට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ සැබෑ සටන්කරුවෙකු බවයි.

දැන් රාජ්‍ය අත්අඩංගුවේ පසුවන බොග්ඩාන්, තම අදහස් වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන් වෙනුවෙන් සටන් කලේය. සෑම කෙනෙකුටම තම අදහස් හා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට අයිතිය තිබිය යුතුය.

මාධ්‍යවේදීන්ගේ නිදහස අවහිර නොකරන ලෙසත්, රුසියානු ආන්ඩුවට ආධාර කිරීමේ වංචනික චෝදනා මත මෙම තරුන සමාජවාදී නායකයා අත්අඩංගුවේ තබා නොගන්නා ලෙසත්‍ අපි යුක්‍රේන ආන්ඩුවට බල කර සිටිමු.

ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අපි, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි තුලින් තම යුද විරෝධී අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල මෙම විප්ලවවාදී සටන්කරුවා සිරගත කිරීම පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

ඒ අතරම, යුක්‍රේනය තුල ලෝසවෙඅ වෙත ප්‍රවේශය තහනම් කර ඇති බව ද අපට දැනගන්නට ලැබී ඇත. මෙම වෙබ් අඩවිය, සමාජවාදය සඳහා සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රකාශනය යි. මෙම තහනම වහාම ඉවත් කරන ලෙස අපි යුක්‍රේන ආන්ඩුවට බලකර සිටිමු.

සසප ආධාරකරුවෙකු, සම්මානලාභී කතුවරයෙකු සහ නවකතාකරුවෙකු වන සරත් මුනසිංහආරච්චි

මේ තරුන යුද විරෝධී ක්‍රියාකාරිකයාව සිරගත කිරීමේ නින්දිත ක්‍රියාවට, කලාකරුවන් ලෙස අපි දැඩි ලෙස විරුද්ධ වෙමු.

එක්සත් ජනපද-නැටෝ සන්ධානයේ පූර්න පිටුබලය ඇතිව වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය යුක්‍රේනයේ කුරිරු යුද්ධය තව තවත් දිග හැරෙමින් පවතින අතර, තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වී මුලු පෘථිවියම විනාශ කිරීමේ අනතුර මතු කරයි.

මෙය ලෝක සමාජවාදී විප්ලවයේ යුගය බව මම විශ්වාස කරමි; නමුත් මෙම විප්ලවය සාක්ෂාත් කරගත හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය—රුසියාවේ, යුක්‍රේනයේ සහ සමස්ත පැරනි සෝවියට් සංගමයේ කම්කරුවන්—පොදු ධජයක් යටතේ එක්සත් කිරීමෙන් පමනි; බොග්ඩාන් සහෝදරයා කරමින් සිටියේ එයයි.

බොග්ඩාන් සහෝදරයා ඇතුලු වයිජීබීඑල් හි දේශපාලන කටයුතුවලට අත නොතබනු!

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් අනධ්‍යයන සේවකයෙකු වන සමන්

සමාජයක් ලෙස යුක්‍රේනයේ අර්බුදය සහ පරිහානිය ගැන මට වැටහුනේ, එහි මැතිවර නොපැවැත්වෙන බවත්, වයස අවුරුදු 50 ට අඩු පිරිමින් හමුදා නීතිය යටතේ හමුදාවට බලහත්කාරයෙන් බඳවා ගන්නා බවත් ඇසීමෙන් පසුවය.

සමන්

ලෝසවෙඅ යුද්ධයේදී රුසියානු ගැති පිලිවෙතක් අනුගමනය කර ඇති බවට, යුක්‍රේන තන්ත්‍රය විසින් කරන ලද චෝදනාව මම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමි. ජූනි 3 දා යුක්‍රේනය තුල ලෝසවෙඅ වෙත ප්‍රවේශය තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේ, යුක්‍රේන ආන්ඩුව සහ එහි ආරක්ෂක හමුදාව බොග්ඩාන්ට එරෙහි ඔවුන්ගේ ව්‍යාජ චෝදනා තවදුරටත් හෙලිදරව් වනු ඇතැයි බියෙන් සිටින බවයි.

යුක්‍රේනයේ සහ මැද පෙරදිග යුද්ධවල ආර්ථික බලපෑම ලෝකයේ සෑම රටකටම දැනේ. පසුගිය වසර දෙක තුල ශ්‍රී ලංකාවේ ජීවන වියදම පෙර නොවූ විරූ ලෙස ඉහල ගොස් ඇති නමුත් අපගේ වැටුප් එකතැන පල් වෙමින් තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ රසායනාගාර සහකාර සේවකයෙකු වන නන්දන

යුක්‍රේනයේ සහ මැද පෙරදිග යුද්ධ සහ චීනයට එරෙහි යුද සූදානම දැනටමත් ලෝක ආර්ථිකයට බරපතල බලපෑමක් ඇති කර ඇත. ශ්‍රී ලංකාව තුල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ ජීවන කොන්දේසි විශාල ලෙස කප්පාදු කර ඇතත්, යුද්ධය වේගවත් වෙමින් පවතී.

නන්දන

යුක්‍රේන ආන්ඩුව වහාම බොග්ඩාන් නිදහස් කිරීමටත්, සමාජවාදී අදහස් දැරීමේ අයිතියට අත නොතැබීමටත් බල කිරීමට ලොව පුරා කම්කරුවන් හා තරුනයින් පෙරට පැමිනිය යුතුය.

විශ්‍රාමික ගුරුවරයෙකු වන දයන්ත ජයතිලක

එක අතකින් රුසියානු-යුක්‍රේන යුද්ධයත්, අනෙක් පැත්තෙන් ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයත් සලකා බලන විට මේ තත්වයන් ලෝක ශිෂ්ටාචාරයේ විනාශයක් දක්වා වර්ධනය විය හැකි බව අපට පෙනේ.

ඇමරිකාව සහ යුරෝපය යුක්‍රේනයට ඩොලර් බිලියන ගනනක ආධාර සහ විශාල ප්‍රමානයක ආයුධ ලබා දෙමින් ද, රුසියාවට එරෙහිව මහජන මතය අවුස්සමින් ද යුක්‍රේනයට උදව් කරයි. පුටින් ආන්ඩුව දූෂිත ධනේශ්වර පන්තියක අවශ්‍යතා නියෝජනය කරන අතර රුසියානු කම්කරුවන්ට සතුරු ය යන ලෝසවෙඅ ආස්ථානයට මම ද එකඟ වෙමි.

මෙම යුද්ධය දැනටමත් යුක්‍රේන තරුනයින් 500,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගෙන ඇත; එසේම, සටන් කරන රටවල් දෙකේ ම හමුදාවන්ට කුලී හේවායන් ලෙස සම්බන්ධ වී මිය ගිය ශ්‍රී ලාංකිකයන් ද ඇත.

ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදාව, කාන්තාවන් සහ ලමුන් ඇතුලු පලස්තීනුවන් දහස් ගනනක් අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. ඊශ්‍රායලය පලස්තීනුවන්ගේ ශ්‍රමයෙන් ඉදිකරන ලද පාසල් සහ රෝහල් ගොඩනැගිලි විනාශ කර ඇති අතර මෙම ඉලක්ක වෙත දහස් ගනනක් බෝම්බ හෙලා ඇත. මේවා මානව හා භෞතික සම්පත් විනාශ කරන ප්‍රතිගාමී යුද්ධයන් ය. අපි මේ යුද්ධවලට විරුද්ධ ය.

බොග්ඩාන් සයිරොටියුක් වැදගත් කාර්යයක් ඉටු කර ඇත; ඔහු සිරගත කර ඇත්තේ, ඔහුගේ අදහස් ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලට සහ යුද්ධයට සෘජුවම විරුද්ධ වන බැවිනි.

මිනිසුන් බොග්ඩාන්ගේ අදහස් වැලඳ ගන්නේ නම්, ඔවුන් වෙනස් වනු ඇත; ආන්ඩුව මෙම අදහස්වලට බිය වන්නේ එබැවිනි. ඔහුගේ මානව හිමිකම් කඩ කර තිබේ. යුක්‍රේන ආන්ඩුව ඔහුගේ අදහස් අවහිර කර, ඔහුගේ පෑන උදුරා ගෙන ඇත; අප බොග්ඩාන්ගේ පැත්ත ගත යුතු වන්නේ එබැවිනි.

මධ්‍යම කඳුකරයේ ඉංජිනේරුවෙකු වන ආර්.ඩී. අජිත්

සයිරොටියුක් නිදහස් කල යුතු ය; පීඩනයක බියෙන් තොරව ඔහුගේ පවුල වෙත ආපසු ගොස් ඔහුගේ කාර්යයන් ඉටු කිරීමට ඉඩ දිය යුතුය. මිනිසුන්ට වටිනා තොරතුරු සපයන ලෝසවෙඅ සහ ඒ හා සමාන මාධ්‍යවල සියලුම වාරනයන් නැවැත්විය යුතුය.

ආර්.ඩී. අජිත්

සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහතික කල යුතු අතර, පීඩනයෙන් බියෙන් තොරව තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට, හමුවීමට සහ දේශපාලනයේ යෙදීමට සෑම කෙනෙකුටම ඉඩ දිය යුතුය. මානව හිමිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මතයන්ට ගරු කල යුතු ය; ආරක්ෂා කල යුතුය.

නීතිඥ සම්පත් විජේසිංහ

බොග්ඩන්ගේ අරගලය පැරනි සෝවියට් සංගමයේ කම්කරුවන්ගේ එකමුතුව සඳහා ය. ඔහු ට්‍රොට්ස්කිවාදය විශ්වාස කරන්නෙකි; එබැවින්, ඔහු ට්‍රොට්ස්කිවාදියෙකු නිසා, නිශ්චිතවම රුසියානු ධනේශ්වර ආන්ඩුව සමග කිසිදාක සමගිව වැඩ නොකරන බව මම තරයේ විශ්වාස කරමි. විනාශකාරී යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ඔහු තෝරාගෙන ඇත්තේ, රුසියානු කම්කරු පන්තිය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ මාර්ගය යි. එබැවින් ඔහුගේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.

Loading