වැඩවර්ජනවල නොයෙදෙන ලෙස ජවිපෙ/ජාජබ කම්කරුවන්ට කර ඇති නිර්දේශයට විරුද්ධ වනු!

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) තමන් ජනාධිපතිවරනයට ඔට්ටු අල්ලා ගෙනයන ව්‍යාපාරයට වැඩ වර්ජන ක්‍රියාමාර්ග හානිකර බැවින් ඒවා නතර කරන ලෙස තම වෘත්තීය සමිතිවලට නියමකර තිබේ—එය වැඩවර්ජන තහනමක් පැනවීමට සමාන නියමයකි.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා ජාජබ/ජවිපෙ, නායක අනුර කුමාර දිසානායක සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත ය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (එන්ටීයූසී) සභාපති කේ. ඩී. ලාල්කාන්ත සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන ජවිපෙ සහ ජාජබ ඉහල නායකයන් දෙදෙනා වැඩවර්ජන ක්‍රියාමාර්ග අකුලා දැමීමේ තීරනය ප්‍රකාශයට පත් කර තිබේ.

කේ. ඩී. ලාල්කාන්ත (ෆේස්බුක්)

එන්ටීයූසී යනු ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිති සාමූහිකයකි; එසේම එය තාක්ෂනවේදීන්, විද්වතුන්, හිටපු හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සාමූහිකයන් සහ සියලුම ජවිපෙ සංවිධාන ඇතුලු බොහෝ කන්ඩායම්වල සන්ධානයක් වන ජාජබ හි කොටස්කරුවෙකු ද වේ.

ජූලි 11 වැනි දින කොලඹ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති රැස්වීමකදී ලාල්කාන්ත මෙසේ පැවසීය:

“අපට උද්ඝෝෂන, විරෝධතා සංවිධානය කල හැකියි. නමුත්, මෙතනින් එහාට, ජනාධිපතිවරනය දිනන තුරු, ... ජනතාවාදී පාලනයක් ඇතිකරගැනීමට හැකි අවස්ථාවක, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මින් ඉදිරියට කිසිදු වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වෙන්නේ නැහැ, ඒක ස්ථිරයි!... ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා උද්ඝෝෂන කරන මේ මොහොතේ සටන කියන්නෙ වර්ජන නොවෙයි.” ඔහු අනෙකුත් වෘත්තීය සමිතිවලින් ද ඉල්ලා සිටියේ “පාලකයන් එලවා දැමීමට අප හා එක්වන්න” යනුවෙනි.

එලැඹෙන මැතිවරනයේදී “නව මොඩලයක” පාලනයක් ඇති කිරීමට විශේෂ තත්වයක්, එනම් ජාතික මට්ටමේ අවස්ථාවක් උදාවී ඇති ඇති බව ඔහු පැවසීය. වෘත්තීය සමිතිවල ක්‍රියාමාර්ග මෙම තත්වය මත පදනම් විය යුතුය. ඔහු මෙසේ අවධාරනය කලේය: “අපට වෙනත් ක්‍රියාමාර්ග තෝරා ගන්න බැහැ..” ජවිපෙ/ජාජබ මැතිවරන ව්‍යාපාරයට සහාය දීම හැර වෙනත් අරගල ක්‍රම තෝරා ගැනීමට අයිතියක් නැතැයි කියමින් ඔහු වෘත්තීය සමිති නායකයින්ට අනතුරු ඇඟවූයේ ඔවුන් තමන්ගේ යටත් වැසියන් ලෙස සලකමිනි.

රැස්වීමට පෙර දිනයේ සිදු වූ වර්ජන කිහිපයක් විවේචනය කල ලාල්කාන්ත, ගුරුවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් කාර්මික ක්‍රියාමාර්ගවල නියැලීමෙන් ජනතාව පීඩාවට පත් කර ඇති බවට දොස් පැවරීය. ලාල්කාන්ත තවදුරටත් මෙසේ ද පැවසීය: “වික්‍රමසිංහ පරාජය කිරීමට ජනතාව එකතු වෙලා ඉන්නෙ. වැඩ වර්ජන තිබුනොත් වර්ජකයින් විඳින දුකට වගකියන්න ඕන කියලා රනිල් [වික්‍රමසිංහ] ඒවා පාවිච්චි කරලා ජනතාව බෙදනවා..”

එන්ටීයූසී නායකයා මෙසේ ද පැවසුවේය: “අපගේ දැක්ම විය යුත්තේ මැතිවරන සටන් භුමිය ශක්තිමත් කිරීමයි... මේ වෙනස්වීමට සරිලන ආකාරයට වෘත්තීය සමිති ව්‍යාපාරයට වෙනස් වීමට බැරිනම්, ඒක 'අපරාධයක්.'” මේ අවස්ථාවේ වැඩ වර්ජන කිරීමට යෝජනා කිරීම “පට්ට ප්‍රතිගාමී ක්‍රියාවක්” යයි ඔහු හඬ තැලුවේය.

ඔහු කෝපයෙන් මේ ප්‍රකාශ කලේ, ජවිපෙ ගුරු සේවා වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ වේදිකාවේ තබාගෙන ය. ගුරු වර්ජනවලට විරුද්ධ වීම ගැනත් පාසල් වෙලාවෙන් පසු විරෝධතා සංවිධානය කිරීමට තීරනය කිරීම ගැනත් ඔහු ජයසිංහට ප්‍රශංසා කලේය.

ජුලි 19 වැනිදා, එස්එල් වීලොග් යූටියුබ් (SL VLOG Youtube) නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී, ජාජබ/ජවිපෙ ආන්ඩුවක් යටතේ වෘත්තීය සමිතිවලට කුමක් සිදුවේද යන ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ජයතිස්ස ද එවැනි ම ප්‍රකාශයක් කලේය.

නලින්ද ජයතිස්ස (ෆේස්බුක්)

ඔහු පැවසුවේ “අපි වෘත්තීය සමිතිවල සාධාරන ඉල්ලීම් සලකා බලනවා... අපට වඩාත් වැදගත් වන්නේ ක්‍රියාත්මක කරන ජාතික සැලැස්ම. ඒ ජාතික වැඩපිලිවෙලට වෘත්තීය සමිති අනුගත කර ගැනීම ... ඒ අය නැතුව මේ ටාගට් වලට යන්න බෑ. ජනතා විමුක්ති පෙරමුනයි ආන්ඩුවයි එකට එකතු වෙනව වගේ වෘත්තීය සමිතියි මැනේජ්මන්ට් එකයි එකට එකතු වෙනවා. මේ මොහොතේ [ජනතා විමුක්ති පෙරමුන] වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින්නේ ජනතාව පීඩාවට පත් කරන වැඩ වර්ජනවලට යන්න එපා... අපි එකතුවෙලා ආන්ඩුවක් හදාගමු”.

ජවිපෙ පාලනය කරන වෘත්තීය සමිතිවල සාමාජිකයන් සහ සමස්ත කම්කරු පන්තිය ම, ජවිපෙ/ජාජබ හි වැඩ වර්ජන සම්බන්ධයෙන් කරන මෙම ප්‍රතිගාමී නියෝගයට විරුද්ධ විය යුතුය. මෙම විධානය වනාහි, සමාජ හා ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහ වැඩිදියුනු කර ගැනීමට වැඩ වර්ජන ඇතුලු පන්ති අරගලයේ ආයුධය යොදා ගැනීම සඳහා වෘත්තීය සමිතිවල සාමාජිකයන්ට පවතින මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දැමීමකි.

මෙය, ජවිපෙ හි ජාජබ පෙරමුන බලයට පත් වුවහොත්, ඔවුන්ගේ පාලන තන්ත්‍රය කම්කරු පන්ති අරගල තහනම් කරන බවට කල්තියා නිකුත් කරන ලද තියුනු අනතුරු ඇඟවීමකි; ඔවුන්ගේ ආන්ඩුවක් යටතේ, කම්කරු පන්තිය ආන්ඩුවේ පිලිවෙත්වලට යටත්විය යුතුයයි විධානය කෙරෙන, කෝපරේට්වාදී කාර්මික පොලිස් උපකරනයක් ලෙස වෘත්තීය සමිති භාවිතා කරනු ඇත.

අනෙකුත් සියලුම ධනේශ්වර පක්ෂ මෙන්ම ජාජබ/ජවිපෙ ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කුරිරු කප්පාදු පිලිවෙත් වලට කැපවී සිටී. සමාජ හා ජීවන තත්වයන්ට එල්ල වන මෙම ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට එන කම්කරුවන්ට විරුද්ධ වීමෙන්, ජාජබ/ජවිපෙ යලිත් වරක් හෙලිදරවු කර ඇත්තේ, තමන් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ එහි ගැත්තන් වන ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ අත්ගෙඩියක් ලෙස ක්‍රියා කරන බවයි.

ලාල්කාන්ත සහ ජයතිස්ස සිය ප්‍රකාශයන් කලේ, රජයේ සේවකයින් ජුලි 8 සහ 9 දෙදින කල ජාතික වැඩවර්ජනයට පසුවය. ජූලි 9 දා ගුරුවරුන් ද 250,000 ක් පමන වර්ජනයට එක් වූහ. දස දහස් සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයෝ එදින ම පැය 4 ක විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ. සේවයෙන් පහකරන බවට එල්ල වූ තර්ජන මධ්‍යයේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දෙදින වැඩවර්ජනය ජුලි 11 වැනිදා අවසන් කෙරුනි. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් 13,000 ක් පමන මැයි 2 දා ආරම්භ කල වැඩවර්ජනය තවමත් අඛන්ඩව ක්‍රියාත්මක විය. මේ සියලු සේවකයන්ගේ පොදු ඉල්ලීම වූයේ වැටුප් වැඩි කිරීමයි.

වෘත්තීය සමිති නිලධරයන් මෙම ක්‍රියා කැඳවූයේ, කම්කරුවන්ට වික්‍රමසිංහ තන්ත්‍රය මත පීඩනය යොදා, එලඹෙන මැතිවරනයේ කොන්දේසි තුල ඉල්ලීම් දිනා ගත හැකි බව පවසමිනි. කෙසේ වෙතත්, එම බලාපොරොත්තුවේ නිෂ්ඵල බව පෙන්නුම් කරමින් වැටුප් වැඩි කිරීමේ වෘත්තීය සමිති ඉල්ලීම ආන්ඩුව එකහෙලා ප්‍රතික්ෂේප කලේය.

විශේෂයෙන්ම, ගුරුවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉලක්ක කර ගනිමින් වික්‍රමසිංහ සහ ඔහුගේ ඇමතිවරු එම අරගල දරුනු ලෙස විවේචනය කලහ. ඔහු ගුරු සේවය අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතට ගෙන එන බවට තර්ජනය කලේය. මෙම කුරිරු නීතිය මීට දින කිහිපයකට පෙර සිටම දුම්රිය සේවකයන්ට එරෙහිව එල්ල කර තිබුනි.

ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් ජනතාව පීඩාවට පත් කර ඇති බව ද රාජ්‍ය සේවකයින් කාලය කා දමන බව ද පවසමින් මාධ්‍ය, ආන්ඩුවේ ප්‍රචාරනයට සම්බන්ධ විය; ඒවා ආර්ථික අර්බුදය මධ්‍යයේ වැටුප් වැඩි කිරීමට නොහැකි බව පිලිබඳ වර්ජකයන්ට දේශනා පැවැත්වූයේය.

වැඩවර්ජන රැල්ල අනෙකුත් කම්කරුවන් අරගල කිරීමට දිරිගන්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම අනතුරේ හෙලනු ඇතැයි ආන්ඩුව සහ ධනේශ්වර පන්තිය භීතියට පත් විය. ඔවුන් 2022 අප්‍රේල්-මැයි මහජන නැගිටීමෙන් බැටකෑමට ලක්වූවන්ය ; එම අරගල වල ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරුනු අතර ඔහුගේ ආන්ඩුව ද බිඳ වැටුනි.

ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කොටසක් වන ජාජබ/ජවිපෙ ද එම බියෙන් ම කම්පනයට පත්ව සිටිති.

2022 දී ජවිපෙ නායකයෝ සිය වෘත්තීය සමිති ඉත්තන් ලෙස යොදාගෙන, ජවිපෙ සහ සමගි ජන බලවේගය (සජබ) විසින් යෝජනා කරන ලද අන්තර්කාලීන ධනේශ්වර පාලන තන්ත්‍රයකට සහය දැක්වීම සඳහා කම්කරු පන්තිය අපසරනය කිරීමට වියරුවෙන් වැඩ කලහ. මෙමගින්, මහජන නැගිටීම දේශපාලනිකව යටපත් කිරීමටත්, ධනපති පන්ති පක්ෂවලට ගැට ගැසීමටත් ඔවුහු ක්‍රියා කලහ.

පසුගිය මාසවලදී, ජවිපෙ විසින් පාලනය කරනු ලබන ඒවා ද ඇතුලු වෘත්තීය සමිති ආන්ඩුවට බලපෑම් කිරීමට සහ ඔවුන්ගේ සාමාජිකයින් අතර කෝපය දියකර හැරීමට සීමිත ක්‍රියාමාර්ග කැඳවූහ. කෙසේ වෙතත්, ජාජබ/ජවිපෙ එවැනි සීමිත, විසිරුනු සහ හුදකලා ක්‍රියාවන් පවා ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකත්වයට හානිදායක වන බැවින්, ඒවා සම්පූර්නයෙන්ම යටපත් කල යුතු බවට තීරනය කර ඇත.

වෘත්තීය සමිති, කම්කරුවන් බැඳ තැබීමේ මෙවලම් බවට පත් වී ඇති අතර කල යුතු හා නොකල යුතු දේ ගැන කම්කරුවන්ට නියෝග කිරීමට ඒවා යොදා ගැනේ.

ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිති විසින් ජූලි 28, 30 අගෝස්තු 2 යන දිනවල පිලිවෙලින් රජයේ හෙදියන්ගේ, දුම්රිය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ සම්මේලන පැවැත්වීය. ඒවා පැවැත්වුනේ, සෞඛ්‍ය සේවය කප්පාදු කිරීම, දුම්රිය පෞද්ගලීකරන සැලැස්ම සහ ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් හා අධ්‍යාපනය රැකගැනීම පිලිබඳව සාකච්චා කොට කෙසේ අරගලය කල යුතු ද යන්න ගැන තීන්දු ගැනීමට නොවේ. මෙම රැස්වීම් යොමුකර තිබුනේ, දිසානායකට වැඩි ඡන්ද ගරා ගැනීම සඳහා සෙසු කම්කරුවන් අතර ක්‍රියා කලයුත්තේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමටයි.

එන්ටීයූසී නායකයා අධ්‍යාපනඥයින් මත අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමේ තර්ජන ගැන හෝ මෙම කුරිරු නීතිය යටතේ දුම්රිය ස්ථානාධිපතිවරුන් නෙරපා හැරීමේ අවසාන නිවේදනය ගැන හෝ තැකීමක් කලේ නැත. ජවිපෙ හෝ වෙනත් වෘත්තීය සමිති ද ඒවාට විරුද්ධ වූයේ නැත. ජවිපෙ/ජාජබ ආන්ඩුවක් ද පන්ති ක්‍රියාමාර්ග තලා දැමීමට මෙම මුර්ග නීති භාවිතා කරනු ඇත.

ලාල්කාන්ත හා ජයතිස්ස පන්ති ක්‍රියාමාර්ගවලට විරුද්ධව කල ප්‍රකාශවලට කිසිදු වෘත්තීය සමිති නායකයෙක් විරුද්ධ නොවීම අර්ථභාරී ය. ජවිපෙ සමිති මෙන් ම, මෙම නිලධරයන් ද ආන්ඩුවට සහ එහි ජාමූඅ ප්‍රතිපත්තිවලට එරෙහිව පන්ති අරගලය වර්ධනය කිරීමට එකහෙලා විරුද්ධ ය.

කම්කරු පන්ති අරගල කෙරෙහි ජවිපෙ සතුරුකම එහි පටන්ගැන්මේ සිට ම දැක ගත හැකිය. මෙය 1971 ව්‍යර්ථ වූ ග්‍රාමීය කැරැල්ල දක්වා කාලය තුල ජවිපෙ, කම්කරු වැටුප් අරගල හෙලා දුටුවේ ඒවා “කැඳ කෝප්ප සටන්” ලෙස හංවඩු ගසමිනි.

1987-1990 දී, පක්ෂය 1987 ජූලි ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදී ව්‍යාපාරය දියත් කරමින් පැවසුවේ “මව්බිම” ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු අරගල යටත් විය යුතු බවයි. පක්ෂයේ සන්නද්ධ අංශය මෙම ස්වෝත්තමවාදී ඉල්ලීම මත තුවක්කු එල්ල කොට වර්ජන ක්‍රියාමාර්ගවලට සහභාගී වීමට කම්කරුවන්ට බල කලේය.

වාර්ගික යුද්ධය අතරතුර, ඔවුන් 'මව්බිම' බේරාගැනීමේ මිලිටරි මෙහෙයුම් වලට හානිදායක බව පවසමින් වැඩ වර්ජන ක්‍රියාමාර්ග යටපත් කලහ; ඔවුන්ගේ අන නොතකා ක්‍රියාකල අය “එල්ටීටීඊ කොටියන්ට” උදව් කරන “සුදු කොටි” ලෙස හංවඩු ගසා ඔවුන් ගැන පොලිසියට ඔත්තු දුන්හ.

ඔවුන් බලයට පැමිනියහොත්, 'ආර්ථික පුනරුදයේ' නාමයෙන්, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට සහාය දෙමින්, වෘත්තීය සමිති අදාල ආයතනවල කලමනාකාරීත්වයේ කොටසක් බවට පත් කරනු ඇත. කම්කරුවන්ට, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් පාගා දැමීමටත්, ලාභ ඉහල නැංවීම සඳහා නිරන්තර අධික වැඩ පැටවීමටත් මුහුන දීමට සිදුවනු ඇත.

ධනේශ්වරයේ සෑම කොටසක් ම, ජාමූඅ වැඩසටහන සාමකාමී ලෙස සම්පූර්න කල නොහැකි බව දනී. පසුගිය දෙවසර තුල වික්‍රමසිංහගේ වාර්තාව--මාර්ගගත සුරක්ෂිතතා පනත, ප්‍රති-ත්‍රස්ත නීතිය සම්මත කිරීම, අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම, කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ අරගලවලට එරෙහිව පොලිස්-මිලිටරි මර්දනය මුදා හැරීම-- ආදී රුදුරු මර්දනයේ වාර්තාවකි.

ජාජබ/ජවිපෙ බලයට පත් වුවහොත් ඉක්මනින් ම ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට හැරෙනු ඇත.

කම්කරු පන්තියට, පාලක පංතිය ක්‍රියාවට දමන ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල සහ ආඥාදායකත්වය කරා ධාවනය පරාජය කල හැක්කේ ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය වීමෙනි; වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වී තමන්ගේම සටන් සංවිධාන ගොඩනගා ගැනීමෙන් පමනි. එනම් සෑම වැඩපලකම සහ අසල්වැසි ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙනි. කම්කරු අරගලය වැලැක්වීමට ජාජබ/ජවිපෙ හි වෘත්තීය සමිතිවලට කර ඇති නියෝගය, මෙම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමේ අවශ්‍යතාවය නැවත වරක් ඉස්මතු කර ඇත.

කම්කරුවන්ට සහ දුප්පතුන්ට අවශ්‍ය තවත් ධනේශ්වර පාලනයක් බලයට ගෙන ඒම නොවේ. ඔවුන්ට අවශ්‍යවන්නේ, සමාජවාදය සඳහා ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.

වික්‍රමසිංහ ආන්ඩුව සහ ධනපති පන්ති පාලනය පෙරලා දැමීමේ දේශපාලන මහා වර්ජනයක් සූදානම් කිරීම අවශ්‍ය ය. එහි අත්‍යවශ්‍ය අංගයක් වන්නේ, එම වර්ජනය සමග ගම්බද දුගීන් ද ඇතුලු පීඩිත ජනතාව පෙලගස්වා ගැනීමයි.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් තහවුරුකොට එමගින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනට ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳව තීන්දු ගත යුතුවේ.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂයක්—එනම් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගොඩනැගීම අවශ්‍ය වේ. මෙම විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අරගලයේ කොටසක් ලෙස සසප ජනාධිපතිවරනයට මැදිහත් වනු ඇත.

Loading