ජවිපෙ සමිති නායකයාගේ වර්ජන-විරෝධයට අනුගත වෙමින් ගුරු-විදුහල්පති සන්ධානය වැටුප් සටන අකුරට වැඩ කිරීමකට සිඳවයි

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කීපයක් මත, ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ජූලි මස 22 දා සිට සති දෙකක කාලයක් 'අකුරට වැඩකිරීමක්' දියත් කර තිබේ. එම ක්‍රියාමාර්ගයට අනුව ගුරුවරු උදෑසන 7.30 සිට 1.30 දක්වා සාමාන්‍ය පරිදි ඉගැන්වීම් කටයුතුවල නිරත වන නමුත් අධ්‍යාපන කලාප කාර්යාල සමග සම්බන්ධතා පැවත්වීම, වෙනත් බාහිර වැඩ හා හවස් වරුවේ ඉගැන්වීමේ කටයුතු නතර කොට ඇත.

සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ තීරනය ගෙන තිබෙන්නේ, ජූලි මස 8/9 දිනවල සමස්ත රාජ්‍ය අංශයේ වැඩ වර්ජනයෙන් පසු රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර කිහිපයක සමිති නායකයන්, “ඉදිරි ක්‍රියාමාර්ග” සාකච්ඡා කිරීම සඳහා ජූලි මස 10 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවත්වූ රැස්වීමක දී ය. එහිදී, ජූලි 18/19 දිනවල යලි වර්ජනයක් කල යුතු බවට සමිති කිහිපයක් දැරු අදහසට ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේස) සභාපති මහින්ද ජයසිංහ විරුද්ධත්වය පලකිරීම හේතුවෙන්, “ඉදිරි ක්‍රියාමාර්ග” අකුරට වැඩ කිරීමකට සිඳවීමට සමිති සන්ධානය තිරනය කොට ඇත.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේස) සභාපති මහින්ද ජයසිංහ [ෆේස්බුක් ]

මැතිවරයක් ආසන්නයේ වැඩවර්ජන කිරීම සම්බන්ධව සිය මුහුනු පොතේ පලකර ඇති වීඩියෝවක ජයසිංහ මෙසේ පවසයි: “වැඩ වර්ජනය කල යුත්තේ අපේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙනවා නම් විතරයි. මේ වෙලාවේ අපි වර්ජන කලොත් වැලේ වැල් නැතුව ඉන්න රනිල් වික්‍රමසිංහට වැල් හදලා දෙනවා”. අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ඔජවඩවමින් ඔහු කියා සිටියේ, එය “වැඩ කරමින්” අරගලය ඉදිරියට ගෙන යන උපායක් බවයි. ජවිපෙ මෙහෙයවන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායක ලාල් කාන්ත හා අන්තර් සේවක සංගමයේ නායක වසන්ත සමරසිංහ පසුගිය දිනවල වැඩවර්ජනවලට එරෙහිව මේ අන්දමේම ප්‍රකාශ නිකුත් කලහ.

වැඩවර්ජන ඇතුලු පන්ති සටන්වල වර්ධනයක්, 2022 මහජන නැගිටීම බඳු තත්වයක් නිර්මානය කොට මැතිවරන වලට බාධා පමුනුවනු ඇතැයි ද, ඒ හේතුවෙන් තම ආන්ඩුවක් පිහිටුවීමේ අරමුන සාක්ෂාත් කල නොහැකිවනු ඇතැයි ද ජවිපෙ භීතියට පත්ව ඇත. ජවිපෙ සමිති නායකයන්ගේ වර්ජන-විරෝධය පිටුපසින් පවතින්නේ එම භීතියයි.

ජවිපෙ සමිති නායකයින්ගේ මෙම ප්‍රකාශ, ඔවුන්ගේ පාලනයක් යටතේ වැඩවර්ජන ඇතුලු කම්කරු පන්තියේ සටන් තලා දමන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (ජාමූඅ) සහ දෙස් විදෙස් මහ ධනපතියන්ට කල්තියා දෙන සංඥාවකි. මෙතෙක් ආන්ඩු කල ධනපති පක්ෂවල අපකීර්තිය ගසාකමින් ඉදිරි මැතිවරනයකින් බලයට පැමිනීමට යත්න දරන ජවිපෙ සහ එය නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ), ඔවුනගේ ආන්ඩුවක් යටතේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ඉදිරියටම ගෙනයන බවට සපත වී සිටී. විදේශ නය ගෙවා දැමීම සහ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම අරමුනු කරගත් මෙම කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කල හැක්කේ රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට එහා ගිය රුදුරු මර්දනයක් යටතේ පමනි.

ගුරු-විදුහල්පති සමිති සන්ධානයට අයත් සමිති බහුතරයක් ජවිපෙ වර්ජන-විරෝධයට අනුගත වෙමින් අකුරට වැඩ කිරීමේ වැඩපිලිවෙලට සම්බන්ධ වී සිටී. ලංකා ගුරු සංගමයේ (ලංගුස) සභාපති ප්‍රියත්න ප්‍රනාන්දු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ, ජයසිංහ ඇතුලු ජවිපෙ ගුරු සමිති නායකයන් වර්ජනයකට යලි යලිත් විරුද්ධ වූ තත්වය තුල සමිති සන්ධානය තුල භේදයක් වලක්වා ගැනීමේ එල්ලයෙන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට එකඟ වූ බවයි.

මේ අතර, ව්‍යාජ-වාම පෙරටුගාමී පක්ෂයේ (පෙසප) ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස), තම සමිතිය අකුරට වැඩ කිරීමට සම්බන්ධ නැතැයි ද, “ජයග්‍රහනය කල හැක්කේ අඛන්ඩව සටන් කිරීම” මගින් යයි ද පවසමින් ව්‍යාජ සටන්කාමීත්වයක් පෙන්වීමට උත්සාහ කරයි.

“මැතිවරනයක් වෙලාවේ රනිල් වික්‍රමසිංහව හොලවලා ඉල්ලීම් දිනා ගන්න යන කොට තමයි ලාල් කාන්තලා, මහින්ද ජයසිංහලා වර්ජන කරන්න එපා කියන්නේ” යයි ඒගුසේස සභාපති වාස් ගුනවර්ධන මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ ය.

ගුනවර්ධනගේ කියාපෑම් වලට විපරීතව, වික්‍රමසිංහ ආන්ඩුව, ගුරුවරුන්ගේ, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ, දුම්රිය ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේ මැතිවරනය ආසන්නයේදී ය. ආන්ඩුව එතනින් නතර වී නැත. ජුනි මස 26 දා ගුරුවරු 10000 ක් පමන සම්බන්ධ වූ විරෝධතාවයට ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයක් එල්ල කල වික්‍රමසිංහ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බවට තර්ජනය කරමින් ගුරුවරුන්ට එරෙහිව අවශේෂ මහජනයා උසිගැන්වීමක නිරත වූයේ ය. දුම්රිය සේවක වර්ජනයට ද ආන්ඩුවේ ප්‍රතිචාරය වූයේ, අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා සේවයට වාර්තා නො කරන සේවකයන් දොට්ට දැමීමට තර්ජනය කිරීමයි.

ඒ තත්වය තුල ගුරුවරුන් ඇතුලු සෑම ක්ෂේත්‍රයක ම කම්කරුවන් ඉදිරියේ මතු කෙරී පවතින්නේ, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීමේ දේශපාලන අරගලයක් දියත් කිරීමේ අවශ්‍යතාවයයි.

එම අරගලය ඉදිරියට ගෙන යෑම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේත්, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධව, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනයට සටන් වැදීමේත් තීරනාත්මකභාවය පෙන්වා දෙමින් සමාජවාදී සමානතා පක්ෂය ජුනි මස 26 දා නිකුත් කල ප්‍රකාශය මෙසේ අවධාරනය කලේය:

“සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ, වෘත්තීය සමිති, සිය අරගල පීලි පැන්නවීමට සහ ධනේශ්වර පාර්ලිමේන්තු රාමුවට කොටු කිරීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන ලෙසයි. කම්කරු පන්තියේ සෑම කොටසකම විරෝධතා සහ වැඩ වර්ජන, වික්‍රමසිංහ තන්ත්‍රයේ කප්පාදු පියවර පරාජය කිරීමේ පොදු අරගලයක වෛෂයික අවශ්‍යතාවය පෙන්නුම් කරයි.

“තම වැටුප්, රැකියා, ජීවන කොන්දේසි සහ මහජන සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමටත්, ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදුවලට එරෙහිව සටන් කිරීමටත් දේශපාලන මහා වැඩ වර්ජනයක් සූදානම් කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. වික්‍රමසිංහ තන්ත්‍රයට එරෙහි සහ ධනේෂ්වර ක්‍රමය පෙරලා දැමීමේ දේශපාලන සටනකින් තොරව ඔවුන්ට මේ කිසිදු අයිතියක් ආරක්ෂා කරගත නො හැක”.

මෙම ගුරු සමිති, “වැටුප් විෂමතා” ඉවත් කිරීම හා තවත් ඉල්ලීම් ලබා දෙන්නැයි ඉල්ලා වසර 27 ක් පුරා උද්ඝෝෂනය කර ඇත. නමුත් ගුරුවරු අත්දකින්නේ තම සැබෑ වැටුප් හා නිදහස් අධ්‍යාපන අයිතිය බරපතල ලෙස ඛාදනය වෙමින් පවතින බවයි.

ධනපති පන්ති පාලනයට කිසිදු තර්ජනයක් එල්ල නො වන ආකාරයෙන් ගුරුවරුන්ගේ විරෝධතා සීමා කිරීමට මෙම සමිති නායකයෝ ඉතිහාසය පුරා ක්‍රියා කර ඇත්තාහ. ජවිපෙ ට ඒ සම්බන්ධ කුප්‍රකට වාර්තාවක් ඇත.

2007 වසරේ ගුරුවරුන්ගේ වැටුප් අරගලයක් තුල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුරු සමිති නායකයන් සමග කල සාකච්ඡාවක දී, 'ඔබ පවසන්නේ යුද්ධය නතර කර වැටුප් වැඩි කරන්නද?' යැයි, මහින්ද ජයසිංහ හා ලංගුස නායක ජෝසෆ් ස්ටැලින්ගෙන් තර්ජනාත්මකව විමසූ විට එයට බියගුලු ලෙස යටත් වී වැටුප් සටන පාවා දුන්නේ, යුද්ධය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය කොන්දේසි සකසා දෙමිනි. වත්මන් පෙසප නායකයෝ එවක දී ජවිපෙ ප්‍රබල සමාජිකයන් ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, 2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය ඩැහැ ගනිමින්, රට තුල වර්ධනය වෙමින් පැවති පන්ති අරගල තලා දැමීම සඳහා පොලිස් මිලිටරි මර්දන යන්ත්‍රය තර කරද්දී, මෙම සමිති නායකයන් උද්ඝෝෂනයේ යෙදුනේ පාසල් හා විශ්වවිද්‍යාල තුලට ආන්ඩුව යොදා ඇති හමුදා හා පොලිස් සේනාංක තවත් වැඩි කරන ලෙසටයි.

2021 වසරේ දින 100 ත් වැඩි කාලයක් පුරා ඇදී ගිය ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයේ දී වසංගතය මගින් උග්‍ර කෙරුනු ආර්ථික අර්බූදය හමුවේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල නො හැකි යයි එවක පැවති රාජපක්ෂ ආන්ඩුව කියා සිටිද්දී මහින්ද ජයසිංහ ඇතුලු සමිති නායකයන් නිවට ලෙස ආන්ඩුවට කියා සිටියේ “ආර්ථික අර්බූදය තේරුම් ගෙන, මස් රාත්තලම නොඉල්ලා, නම්‍යශීලී ව” සිටින බවයි.

ලංකාවේ ධනපති පන්ති පාලනය සොලවා ලූ 2022 මහජන නැගිටීම ආපස්සට තල්ලු කර හැරීම සඳහා මෙම වෘත්තීය සමිති නායකයෝ දුෂ්ට ක්‍රියාකලාපයක් ඉෂ්ඨ කලහ. එහි දී ඔවුහු, සමගි ජන බලවේගය සහ ජවිපෙ යෝජනා කල අන්තර්-වාර ආන්ඩු වැඩපිලිවෙලට එම මහජන නැගිටීම හරවා යවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ගෙන ඒමට මග පාදා දුන්හ.

2022 අප්‍රේල් හා මැයි මාසවල පැන නැගි මහ වැඩවර්ජන එක් දිනකට සීමා කරමින් “රට අරාජක නො කල යුතු” යයි ප්‍රකාශ කරමින් ජවිපෙ සමිති නායකයෝ කම්කරුවන්ට යලි වැඩට යෑමට නියෝග කලහ. පෙසප ගුරු කන්ඩායම හා ස්ටැලින්ගේ ලංගුස ඊට දිනකට පසු එම පිලිවෙත ම අනුයමින් ගුරුවරුන්ට වැඩට යන්නයි ප්‍රකාශ කලේ ය.

සමිති අතර පටු උපායික මතභේද තිබියදී ඔවුන්ගේ වැඩකටයුතු යලි වතාවක් මෙහෙය වී තිබෙන්නේ පන්ති අරගලය, ඉදිරි මැතිවරනයකට යට කර, ජාමූඅ කප්පාදු රුදුරුම ආකාරයෙන් ඉදිරියට ගෙනයන තවත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමට මාවත විවර කර දීමටයි.

Loading